හුමා කුරේෂි නිවසේ සිට උපන් දිනය සමරයි



බොලිවුඩයේ ජනප්‍රිය නිළි හුමා කුරේෂිගේ උපන් දිනය අද (29) ට යෙදී තිබේ. ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් වෙබ් අඩවිය වාර්තා කළේ හුමා සිය 34 වැනි උපන් දිනය නිවසේ රැඳී සිටිමින් සැමරූ බවය.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් බොලිවුඞ් කර්මාන්තය අඩපණ වී ඇති අතර, රූගත කිරීම් හෝ චිත්‍රපට එළිදැක්වීම් හෝ තවමත් සිදුවන්නේ නැත.

ලොව වැඩියෙන්ම කොරෝනා ආසාදිතයන් වාර්තා වන රටවල් අතර ඉන්දියාව ඉහළින් සිටී.

නිවසට වී සිටින බොලිවුඞ් නළු නිළියන් බොහෝ දෙනකු පසුගිය කාලයේ උපන් දිනය සැමරූ අතර, දැන් හුමා කුරේෂි ද ඔවුන් අතරට එක් වී සිටින්නීය.

‘ආදරෙයි. හැමෝටම ස්තුතියි’ යැයි රතු සහ සුදු බැලුන් ගොඩක් මැද සිටිමින්, තම රසික රසිකාවියන්ට ස්තුති කරන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් ට්විටර් සමාජ මාධ්‍ය හරහා පළ කිරීමට ද හුමා අමතක නොකළාය.

නර්ගීස් ෆක්රී, අක්ෂේ කුමාර්, භූමි පෙඞ්නෙකාර්, ෆාරා ඛාන් ආදී බොලිවුඞ් නළු නිළියන් ද ට්විටර් ඔස්සේ හුමා ට සුබ පැතුම් එක් කර තිබේ.

‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’


RECOMMEND POSTS