හැරී-මේගන් ඕස්ටේ‍්‍රලියාවේ



බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි හැරී කුමරු සහ බිරිඳ මේගන් මාකෙල් නිල සංචාරයක් ආරම්භ කරමින්  ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවරට පැමිණියහ. 

හැරී සහ මේගන් විවාහ වීමෙන් පසු, විදෙස් සංචාරයක නියැලෙන පළමු අවස්ථාව මෙයයි. හැරී කුමරු සහ මේගන් මාකෙල් හැඳින්වෙන්නේ සසෙක්ස් ආදිපාදවරයා සහ ආදිපාදවරිය යනුවෙනි.

ආබාධිත රණවිරුවන් සහභාගී වන ජාත්‍යන්තර ‘ඉන්වික්ටස් කී‍්‍රඩා උලෙළ’ ලබන 20 සිට 27 දක්වා සිඞ්නි නුවර දී පැවැත්වෙයි. මෙම සුවිශේෂී කී‍්‍රඩා උලෙළ ආරම්භ කිරීමෙහිලා පුරෝගාමියකු වන්නේ හැරී කුමරුය. හැරී කුමරු ද බි‍්‍රතාන්‍ය රාජකීය හමුදාවේ සොල්දාදුවෙකුව සිට ඇත. හැරී කුමරු බිරිඳ, මේගන් ද සමඟ සිඞ්නි නුවරට පැමිණියේ, ‘ඉන්වික්ටස් කී‍්‍රඩා උලෙළ’ වෙනුවෙනි.

ඊට අමතරව, රාජකීය යුවල සිඞ්නි වරායේ, ඔපෙරා රඟහල අසල පාරු සේවයේ සවාරියක් යෑමටත්, ස්වදේශික වැසියන් හමුවීමටත්, සත්වෝද්‍යාන නැරැුඹී යෑමටත් නියමිතය. මේ වනවිට  ඕස්ටේ‍්‍රලියාව දැඩි වියලි නියං තත්ත්වයකට මුහුණ දෙයි. ගොවීන් දැඩි ලෙස පීඩාවට පත් වී සිටින බව ද පැවැසෙයි. එසේ විපතට පත්වී සිටින ගොවීන් හමුවී කතාබහ කිරීමට ද රාජකීය යුවල සූදානමින් සිටින බව වාර්තා වේ.

හැරී කුමරුන් සහ ඇමෙරිකන් ටෙලි නිළියක ද වුණු මේගන් මාකෙල්ගේ විවාහ මංගල උත්සවය පැවැත්වූයේ පසුගිය මැයි 19 වැනිදාය. එය ලොව බොහෝ දෙනාගේ අවදානයට ලක් වුණු රාජකීය මංගල උත්සවයක් විය. සිඞ්නි නුවරට පැමිණි යුවලට  ඕස්ටේ‍්‍රලියානුවන්ගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.

ඕස්ටේ‍්‍රලියාවේ පාලක පක්ෂ අභ්‍යන්තරයේ සිදුවුණු කුමන්ත‍්‍රණයකින් බලයට පත් වුණු අගමැති ස්කොට් මොරිසන් රාජකීය යුවල පිළිගැනීමට නියමිත බව ද වාර්තා වේ. ස්කොට් මොරිසන් අගමැති ධුරයට පත් වූයේ එම ධුරයේ සිටි මැල්කම් ටර්බුල් පක්ෂ නායකත්වයෙන් නෙරපා දමමිනි.

ඒ, පසුගිය අගෝස්තු මාසයේදීය.  ඕස්ටේ‍්‍රලියාවේ බි‍්‍රතාන්‍ය කිරුළ යටතේ පවතින රාජ්‍යයක් වන අතර, පාර්ලිමේන්තු ක‍්‍රමයක් පැවැතියත් රාජ්‍ය නායිකාව ලෙස සැලකෙන්නේ බි‍්‍රතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජිනය.

2014 වසරේ දී හැරී කුමරුන්ගේ අයියණ්ඩිය විලියම් කුමරු සහ කේට් මිඞ්ල්ටන්  ඕස්ටේ‍්‍රලියාවට පැමිණියහ. ඔවුන්ගේ පුතු ජෝර්ජ් කුමරුන් ද එම සංචාරයට එක් වී සිටියේය.

ඕස්ටේ‍්‍රලියා සංචාරය අවසන් කිරීමෙන් පසු, හැරී සහ මේගන් යුවල අසල්වැසි නවසීලන්තයේත්, ටොංගා සහ ෆීජී යන දූපත් රාජ්‍යයේත් සංචාරය කිරීමට නියමිත යැයි ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී./ඬේලිමේල්)

 


RECOMMEND POSTS