හැට පස්වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල



හැට පස්වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල ඉකුත් සෙනසුරාදා (15) ඇසෑමයේදී අති උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත් වූ බොලිවුඩ් තරු රැසක්ම බබළවමිනි.

ජයග්‍රාහී ෆිල්ම්ෆෙයාර් සම්මානලාභීන්ගේ සම්පූර්ණ ලැයිස්තුවේ ඉහළම සම්මාන වන හොදම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වුණේ රන්වීර් සිං, ඒ ගලීබෝයි චිත්‍රපටය වෙනුවෙන්. ඔහු මෙම සම්මානය හිමි කරගත්තේ දෙවන වතාවටයි.

හොඳම නිළිය වුණේ ආලියා භාත් ගලී බෝයි චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන්. ඇය මෙම සම්මානයට හිමිකම් කියන්නේ තෙවන වතාවට. පිට පිටම ඇයට එකී සම්මානය හිමිවුණු දෙවන අවස්ථාව මෙයයි.

හොඳම සහය නළුවාට හිමි සම්මානය සිද්ධාන්ත් චතුර්වේදී ගලීබෝයි වෙනුවෙන් හිමිකරගත්තා. ගලී බෝයි චිත්‍රපටයේ මවගේ චරිතය රඟපෑ අමෘතා සුභාෂ් හොඳම සහය නිළිය ලෙස සම්මාන හිමිකරගත්තා.

හොඳම විචාරක නිළිය ලෙස භූමි පෙද්නේකර් සහ තාප්සී පන්නු සාන්ද් කී ආක් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සම සම්මාන හිමි කරගත්තා. හොඳම විචාරක නළුවාට හිමි සම්මානය දිනාගත්තේ අයුෂ්මාන් කුරාණා, ආර්ටිකල් 15හී කළ චරිතය වෙනුවෙන්. ඒ ඔහු එය පිට පිටම ලබාගත් දෙවන අවස්ථාව වනවා.

හොඳම නවක නිළිය වුණේ අනන්‍යා පාණ්ඩේ ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් සහ පතී පත්නී ඕර් වෝ චිත්‍රපටවල කළ රංගනය වෙනුවෙන්, හොඳම නවක නළුවා වුණේ අභිමන්‍යූ දසානී මර්ද් කෝ දර්ද් නහී හෝතා චිත්‍රපට වෙනුවෙන්. ඔහු මේනේ ප්‍යාර් කියා හේ චිත්‍රපටයේ සල්මන් සමඟ රඟපෑ භාග්‍යශ්‍රීගේ පුතණුවන්.

හොඳම සංගීත ඇල්බමයට හිමි සම්මානය ද සමව බෙදී ගියා, ඒ ගලී බෝයි සහ කබීර් සිං චිත්‍රපටවල සංගීතඥයන් අතර. හොඳම ගායකයා වුණේ අරිජිත් සිං කලන්ක් චිත්‍රපටයේ කලන්ක් නහී ගීතය වෙනුවෙන්.. ඒ පිට පිට පස්වන වතාවට, මේ ඔහුගේ හයවෙනි සම්මානයයි. පිට පිටම එකී සම්මානයට වැඩිම වතාවක් හිමිකම් කියූ ගායකයාගේ වාර්තාවට කුමාර් සානූ සමඟ හිමිකම් කියන අරිජිත් වැඩිම වතාවක් එකී සම්මානය හිමිකරගත් ලැයිස්තුවේ කිෂෝර් කුමාර්ට දෙවැනිව මොහමඩ් රාෆි සමඟ සම තත්ත්වයේ පසුවෙනවා. හොඳම ගායිකාව වුණේ ශිල්පා රාඕ, වෝර් චිත්‍රපටයේ ගුංගෲ ගීතය වෙනුවෙන්. මේ ඇයගේ පළමු සම්මානයයි. මෙවර නවක සංගීතය උදෙසා පිරිනැමෙන ආර්.ඩී. බර්මන් සම්මානය පිරිනැමුණේ නැත.

හොඳම චිත්‍රපටය ලෙස ගලී බෝයිසම්මාන හිමිකරගනිද්දී හොඳම අධ්‍යක්ෂක ලෙස සම්මානයට පාත්‍ර වුණේ එහි අධ්‍යක්ෂිකාව වන සෝයා අක්තර්. හොඳම විචාරක චිත්‍රපටය වුණේ ආර්ටිකල් 15 සහ සෝන්චිරයියා.

 

ජීවිතේට එක් වරක් පමණක් පිරිනැමෙන ලයිෆ්ටයිම් ඇචීව්මන්ට් අවොර්ඩ් එක මෙවර පිරිනැමුණේ ප්‍රවීණ අධ්‍යක්ෂක රමේෂ් සිප්පි හට. එකල අති දැවැන්ත චිත්‍රපටයක් වුණු ෂෝලේ ඔහුගේ නිර්මාණයක්. සිනමාව වෙනුවෙන් දක්වන ලද විශිෂ්ට දායකත්වය වෙනුවෙන් ගෝවින්දා ට විශේෂ සම්මානයක් පිරිනැමුණා. හොඳම නවක අධ්‍යක්ෂකවරයා වුණේ ඌරී චිත්‍රපටයේ අධ්‍යක්ෂක ආදිත්‍ය ධර්.

එදා මෙදා තුර ෆිල්ම්ෆෙයාර් සම්මාන උළලෙකදී හිමිකරගත් වැඩිම සම්මාන ගොන්න හිමිකරගන්න මෙවර ගලී බෝයි චිත්‍රපටය සමත් වුණා. ඒ සම්මාන 13ක්. මීට පෙර එකී වාර්තාවට හිමිකම් කීවේ සම්මාන 11ක් ලබාගත් බ්ලැක් චිත්‍රපටයයි.

මිෂන් මංගල්, මනිකර්නිකා, සුපර් 30, චිචෝරේ, සෙක්ෂන් 375 වැනි ගියවසරේ කතා බහට ලක්වුණු චිත්‍රපට සඳහා එකදු සම්මානයක් හෝ හිමිනොවීම කැපී පෙනුණු සිද්ධියකි.

( තිළිණි ද සිල්වා )
ෆිල්ම් ෆෙයාර් ඇසුරෙනි

RECOMMEND POSTS