සෞදියේ දී මෙලානියාට පැසැසුම්



සෞදි සංචාරයේ දී ඇමෙරිකන් ජනපති ආර්යාව මෙලානියා ට්‍රම්ප්ගේ විලාසිතා සම්බන්ධයෙන් සෞදි පුවත්පත් ඉතා පැහැදීමෙන් පුවත් පළ කර ඇතැයි වාර්තා වේ.

හිස වසාගෙන නොසිටිය ද ඇය සෞදි සංචාරය සඳහා ‘ඉතා උචිත’ ඇඳුම්වලින් සැරැසී සිටියේ යැයි සෞදි පුවත්පත්වල පළ වී ඇත.

කෙසේ නමුත් මීට දෙවසරකට පමණ පෙර, බැරැක් ඔබාමා ඇමෙරිකා ජනපති ලෙස සෞදියට පැමිණෙද්දී, ජනපති ආර්යාව වූ මිෂෙල් ඔබාමා, හිස වසාගෙන නොසිටියේ යැයි එදා සෞදියේ බොහෝ දෙනාගෙන් විරෝධයක් එල්ල විය.

සෞදියේ රියාද් නුවරට පැමිණෙද්දී මෙලානියා සැරැසී සිටියේ කළු පැහැති ‘බ්ලැක් ස්ටෙලා මැකාර්ති ජම්ප්සූට්’ ඇඳුමිනි. මෙහි මිල ඇමෙරිකන් ඩොලර් 1,495 කි. මෙම ඇඳුම මුස්ලිම් කතුන් බහුගව අඳින ‘අබායා’ ඇඳුමට සමාන යැයි පැවැසෙයි.

රියාද් නුවර දෙදින සංචාරයේ දී මෙලානියා තනිවම ඇමෙරිකන් ජාත්‍යන්තර පාසලේ සංචාරයකට ද එක් වූවාය. කාන්තාවන් පමණක් සේවය කරන සෞදි කර්මාන්තශාලා කිහිපයක ඇය සංචාරය කළාය.

මෙලානියා පමණක් නොව, ට්‍රම්ගේ පළමු කසාදයේ දියණිය වන ඉවන්කා ද සෞදි සංචාරයට එක් වී සිටී. ඒ, ඇගේ සැමියා ජෙරාඞ් සමඟය. මොවුහු දෙදෙනා ට්‍රම්ප්ගේ උපදේශකයන් ලෙස කටයුතු කරති.

(ඬේලිමේල් ඇසුරිනි)

 


RECOMMEND POSTS