සෝවියට් සුපිරි වීරයන්ගේ එකමුතුව ’ද ගාඩියන්ස්’



ඇමෙරිකානු මාවල් චිත්‍රකතා ඇසුරින් ස්පයිඩර් මෑන්, ඇවෙන්ජර්ස් ආදී සුපිරි වීරයන්ගේත්, ඩී.සී. චිත්‍රකතා නිර්මාණකරුවන්ගේ සුපර්මෑන්, බැට්මෑන් ආදී සුපිරි වීරයන්ගේත් චරිත ඇසුරින් සිනමා නිර්මාණ බිහිවෙද්දී, ලොව බොහෝ දෙනකු දැන නොසිටි සුපිරි වීරයන් පිරිසක් ගැන කියැවෙන අපූරු, ක්‍රියාදාම චිත්‍රපටයක් රුසියාවෙන් එළිදැක්වීමට නියමිතය. 
මෙම චිත්‍රපටය නම් කර ඇත්තේ ‘ගාඩියන්ස්: සෝවියට් සුපර් හීරෝස්’ යනුවෙනි. ඉංග්‍රීසි බසින් හඬ කවා මෙම චිත්‍රපටය ලොව සිනමා නිර්මාණ අතරට එක් වනු ඇත්තේ 2017 වසරේදීය. 
චිත්‍රපටයට පාදක වන්නේ සෝවියට් සමූහාණ්ඩුව පැවැති අවදියේ දී, නිරවි යුද සමයේ දී නිර්මාණය කරන ලද විවිධ සුපිරි බලයන් සහ හැකියාවන්ගෙන් පරිපූර්ණ වීරයන් කණ්ඩායමකි. සෝවියට් සමූහාණ්ඩුව වෙනුවෙන් ලොවට රහසක් වෙමින් සටන් වැදුණු මෙම වීරයන්, සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් පසු ලොවෙන් සැඟවෙති. දැන් වසර ගණනාවකට පසු නපුරු බලවේගයකට එරෙහිව මොවුහු එකමුතු වී සටන් වදිති.
චිත්‍රපටයේ ප්‍රධාන සුපිරි වීරයන් වන්නේ ශක්තිමත් පාෂාණමය සිරුරක් ඇති ලෙර්, වළසකුගේ මුහුණක් සහ සවිමත් සිරුරක් ඇති අර්සා, අසාමාන්‍ය වේගයකින් යුත්, අසිපත් දෙකක් ඇති ඛාන් සහ සිරුර දියරයක් බවට පරිවර්තනය කර ගැනීමට හැකි තරුණිය සීනා ය.
රුසියානු වානිජ සිනමාවට නව ජවයක් එක් කරනු ඇතැයි විශ්වාස කෙරෙන මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පට මේ වනවිටත් අන්තර් ජාලය ඔස්සේ නැරැඹීමට හැකියාව ලැබී ඇත. පරිගණක විශේෂ ප්‍රයෝග උපරිමයෙන් මෙම චිත්‍රපටයට භාවිතා කර ඇත්තේ හොලිවුඞ් චිත්‍රපටයකට නොදෙවැනි අයුරිනි. චිත්‍රපටය සාරික් ඇන්ද්‍රෙසයාන්ගේ අධ්‍යක්ෂණයකි. චිත්‍රපටයට එක් වී සිටින්නේ රුසියානු නළු නිළි කැළකි. ඇමෙරිකන් ඩොලර් මිලියන පහක පිරිවැයක් දරා නිර්මාණය වුණු මෙම චිත්‍රපටය එළිදැක්වීමට නියමිතව ඇත්තේ 2017 පෙබරවාරි 23 වැනිදාය.


RECOMMEND POSTS