සුළි කුණාටුවක් මැද කිඹුල්ලු එක්ක සටනක්



‘ක්‍රෝව්ල්’ හොලිවුඩයේ දිගහැරෙන ත්‍රාසය සහ භීතිය පිරි නවතම වික්‍රමයයි. බිහිසුණු සුළි කුණාටුවකට මැදිවන තරුණියක, ජලයෙන් යටවන නගරයට ඇදී එන ඇලිගේටර් කිඹුල් රංචුවක් සමඟ කරන බිහිසුණු ඇඟ කිළිපොළා යන සටන ‘ක්රොව්ල්’ චිත්‍රපටයට පාදක වෙයි.

මිනීකන කිඹුල්ලු පාදක කරගත් චිත්‍රපට රැසක් හොලිවුඩයෙන් නිර්මාණය වී ඇත. ‘ලේක් ප්ලැසිඞ්’, ‘ඇලිගේටර්’, ‘රෝග්’, ‘බ්ලැක් වෝටර්’, ‘ප්‍රයිමීවල්’ වැනි චිත්‍රපට ඒ අතරින් කැපී පෙනෙයි.

නවතම ‘ක්‍රෝව්ල්’ චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ට අපූරු අත්දැකීමක් ලබා දීමට සමත් වනු ඇති බව අධ්‍යක්ෂ ඇලෙක්සැන්ඩර් ඒජා සඳහන් කරයි.

හොලිවුඩයට ආ ප්‍රංශ සිනමාකරුවකු ලෙස ඇලෙක්සැන්ඩර් ඒජා ප්‍රකටය. එපමණක් නොව භීෂණය පිරි ත්‍රාසජනක චිත්‍රපට නිර්මාණකරුවකු ලෙස ද ඒජා ප්‍රකටය. ‘හයි ටෙන්ෂන්’, ‘හිල්ස් හෑව් අයිස් 1’ සහ ‘පිරානා 3ඩී’ ඒජා අධ්‍යන්ෂණය කළ චිත්‍රපට අතරින් කිහිපයකි.

‘ක්‍රෝව්ල්’ චිත්‍රපටයේ ඇලිගේටරයන් සමඟ සටන් කරන්නේ හේලි නමැති තරුණියයි. සුළි කුණාටුව මැද ජලයෙන් යටවුණු නිවසට හේලි යන්නේ ඇගේ පියා නිවසින් ඉවත් කර ගැනීමටය. එහෙත් පියා ඬේව්, නිවසේ බිම් මහලේ සිරවී සිටින්නේ ඇලිගේටරයන්ට මැදිවය. ‘ක්‍රෝව්ල්’ චිත්‍රපටයේ කතාව එයයි.

කායා ස්කොඩෙලාරියෝ හේලිගේ චරිතයට පණ දෙයි. කායා ස්කොඩෙලාරියෝ හොලිවුඩයට එක්වුණු එංගලන්ත නිළියකි. ‘පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්’ චිත්‍රපට මාලාවේ ‘ද ඩෙඞ් මෙන් ටෙල් නෝ ටේල්ස්’, ‘මේස් රනර්’ ආදී චිත්‍රපට හරහා කායා ස්කොඩෙලාරියෝ ජනප්‍රිය වූවාය.

 


RECOMMEND POSTS