සුපිරි සොල්දාදුවා: බ්ලඞ්ෂොට්



හොලිවුඩයේ සුපිරි නළු වින් ඩීසල්ගේ නවමත ක්‍රියාදාම චිත්‍රපටය ‘බ්ලඞ්ෂොට්’ මේ වනවිට ලොව පුරා තිරගතවීම් ආරම්භ කර තිබේ.

‘බ්ලඞ්ෂොට්’ යනු සුපිරි වීරයෙකි. ‘බ්ලඞ්ෂොට්’ ඇමෙරිකාවේ ‘වැලියන්ට් කොමික්ස්’ චිත්‍රකතා හරහා ජනප්‍රිය වූ  චරිතයකි.

චිත්‍රපටයේ කතාවට අනුව එහි වීරයා බ්ලඞ්ෂොට් (විනි ඩීසල්) හමුදා සොල්දාදුවෙකි. සොල්දාදුවාගේ නම රේ ගැරිසන්ය.

රේ සහ ඔහුගේ බිරිඳ ඝාතනයට ලක් වන අතර දක්ෂ විද්‍යාඥයන් කණ්ඩායමක් රේ ට යළි පණ දෙයි. ඒ, නැනෝ තාක්ෂණය යොදා ගනිමිනි.

බ්ලඞ්ෂොට්ගේ සිරුර පුරා කුඩා නැනෝ යන්ත්‍ර ක්‍රියාත්මකය. එහෙයින්, තුවාල සිදුවුණු විට සිරුර සැණින් යළි එකලැස් වෙයි. තුවාල සුවවෙයි. සුපිරි ශක්තියක් ද හිමිවෙයි.

රේ සුපිරි සොල්දාදුවකු බවට පත් කරන විද්‍යාඥයන් කණ්ඩායම තවත් සුපිරි සොල්දාදුවන් රැසක් නිර්මාණය කරයි. ඒ, විවිධ සුපිරි හැකියාවන් ඇති අය ලෙසිනි.

බිරිඳගේ ඝාතකයන්ගෙන් පළිගැනීමට රේ ට අවස්ථාවක් හිමිවෙයි. එහෙත්, තමා පළිගන්නේ බිරිඳගේ ඝාතකයන්ගෙන් නොවන බවත්, තමා නපුරන්ගේ අතකොළුවක් බවත් රේ ට වැටහෙයි.

අවසානයේ තමාට සුපිරි බලයක් සහ හැකියාවක් ලබා දුන් පිරිසටත්, සෙසු සුපිරි සොල්දාදුවන්ටත් එරෙහිව රේ සටන් කරයි. ‘බ්ලඞ් ෂොට්’ චිත්‍රපටයට පාදක වන්නේ මෙම කතාවය.

පැය 1 යි මිනිත්තු 49 ක් පුරා දිගහැරෙන ක්‍රියාදාම පිරි ‘බ්ලඞ්ෂොට්’ චිත්‍රපටය ඬේව් විල්සන්ගේ අධ්‍යක්ෂණයකි. ඬේව් විල්සන් තරුණ අධ්‍යක්ෂකවරයකු වන අතර, මෙය ඔහු විසින් අධ්‍යක්ෂණය කළ පළමු ප්‍රධාන පෙළේ චිත්‍රපටයයි.

එයිසා ගොන්සාලේස්, සෑම් හියුජන්ස්, ගායි පියර්ස් චිත්‍රපටයට සම්බන්ධ වී සිටිති.

ලුසිත ජයමාන්න

 


RECOMMEND POSTS