සුපිරි වික්‍රමයක්



මාවල් චිත්‍රකතා වීරයන්ගේ එකමුතුව, ‘ඇවෙන්ජර්ස් ඉන්ෆිනිට් වෝර්’ පළමු කොටස අද (27) සිට ලෝ පුරා තිරගත වෙයි.

මෙය ජෝ සහ ඇන්තනි රූසෝ සොයුරන්ගේ අධ්‍යක්ෂණයකි. මාවල් චිත්‍රකතා ලෝලීන්ට පමණක් නොව, මාවල් චිත්‍රපට ලෝලීන්ට ද ‘ඇවෙන්ජර්ස් ඉන්ෆිනිට් වෝ’ චිත්‍රපටය සැබැවින්ම සුපිරි වික්‍රමයකි. චිත්‍රපටය තිරගතවනතුරු ලොව පුරා ලොකු පොඩි කවුරුත් පුලපුලා බලා සිටි අතර, ඔවුන් අපේක්ෂා කළ අන්දමට එය ක්‍රියාදාම පිරි චිත්‍රපටයකි.

චිත්‍රපටයේ කතාව වන්නේ මාවල් වීරයන් වන අයන් මෑන්, හල්ක්, තෝර්, කැප්ටන් ඇමෙරිකා, බ්ලැක් විඩෝ, ඩොක්ටර් ස්ටේ්‍රන්ජ්, වෝ මැෂීන්, ස්පයිඩර් මෑන්, බ්ලැක් පැන්තර්, විෂන්, වින්ටර් සෝල්ජර් සහ ගාඩියන්ස් ඔෆ් ද ගැලෙක්සි ආදී 2008 වසරේ සිට වසර 10 ක් තිස්සේ එදා මෙදා තිරගත වුණු සෑම මාවල් චිත්‍රපටයකම පාදක වුණු වීරයන් එකට එකමුතු වී, පිටසක්වළ සිට පැමිණෙන තේනෝස් නමැති නපුරු ටයිටන්වරයා සමඟ සටන් වැදීමය.

2008 වසරේ සිට චිත්‍රපට ගණනාවක මාවල් සුපිරි වීරයන් එකමුතු කරමින් පැය 2 යි විනාඩි 40 ක චිත්‍රපටයක් නිර්මාණය කිරීම රූසෝ සොයුරන්ට අසීරු කටයුත්තක් වූ බව පැවැසෙයි. මෙම චිත්‍රපටයේ දකින්න නොලැබෙන සුපිරි වීරයන් ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝර් 2 චිත්‍රපටයේ දකින්න ලැබෙනු ඇතැයි ද රූසෝ සොයුරෝ පවසති.

‘ඉන්ෆිනිටි වෝර්’ චිත්‍රපටයට පාදක වන්නේ එම නමින් හැඳින්වෙන මාවල් චිත්‍රකතා පොත් පෙළය. චිත්‍රපටය ද එම පොත් පෙළට සාධාරණයක් ඉටු කරමින් නිර්මාණය වී තිබීම සතුටට කරුණකි.

මාවල් චිත්‍රකතා වීරයන්ගේ චරිත ඇසුරින් නිර්මාණය වන චිත්‍රපටවල ක්‍රියාදාම පමණක් නොව හාස්‍ය ද මුසුවෙයි. බැරෑරුම් කතා තේමාවක් අන්තර්ගත වුවත් සුපුරුදු පරිදි හාස්‍ය ‘ඉන්ෆිනිටි වෝර්’ චිත්‍රපටයට මුසු කිරීමට රූසෝ සොයුරන් සමත් වී ඇත.

නපුරා වන තේනෝස් පරිගණකයෙන් නිර්මාණය වුණු දැවැන්තයෙකි. තේනෝස් නිර්මාණය වී ඇත්තේ හොලිවුඞ් නළු ජොෂ් බ්‍රෝලිං ඇසුරිනි. මෙය බ්රෝලිං මාවල් චිත්‍රපටයකට එක් වන පළමු අවස්ථාව නොවේ. ඉදිරියේ දී තිරගත වීමට නියමිත ඩෙඞ්පූල් චිත්‍රපටයේ ‘කේබල්’ වීරයාට පණ පොවන්නේ ද ජෝෂ් බ්‍රෝලිංය.

‘ඇවෙන්ජර්ස් ඉන්ෆිනිට් වෝ’ චිත්‍රපටයේ දෙවැනි කොටස 2019 වසරේදී තිරගත වෙයි. අයන් මෑන් සහ ටෝනි ස්ටාක් ලෙස රංගනයෙන් දායක වන්නේ රොබට් ඩවුනි ජූනියර්ය. ඔහු අයන්මෑන් සහ ටෝනි ස්ටාක් ලෙස රංගනයෙන් දායක වන අවසන් චිත්‍රපටය මෙම ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝර් චිත්‍රපට දෙකය.

රොබට් ඩවුනි ජූනියර්ගේ පමණක් නොව, තෝර් ලෙස රංගනයෙන් දායක වන ක්‍රිස් හෙම්ස්වර්ත්, හල්ක්ගේ චරිතයට පණ දෙන මාක් රෆලෝ ආදී ප්‍රධාන ඇවෙන්ජර්ස් වීරයන්ගේ අවසන් වික්‍රමය වනු ඇත්තේ ද මෙයයි. කෙසේ නමුත් ස්පයිඩර් මෑන්, ඈන්ට් මෑන්, බ්ලැක් පැන්තර්, ඩොක්ටර් ස්ටේ්‍රජ් ආදී වීරයන්ගේ චිත්‍රපට ඉදිරියේදී නිර්මාණය වනු ඇතැයි මාවල් සමාගම කියයි.

ලුසිත ජයමාන්න

 


RECOMMEND POSTS