සියවසේ මංගල්‍යය



ආජන්ටිනා ජාතික ලෝ ප්‍රකට පාපන්දු තාරුකාව ලයනල් මෙසී  ඉකුත්දා සිය ළමා වියේ සිට සිය පෙම්වතිය සමග අතිනත ගත්තේය.

30 හැවිරිදි මෙසී සහ 29 හැවිරිදි අන්තොනේලා රොකුසෝ අතර විවාහය සහභාගිවීම සඳහා ලොව පුරා විවිධ රටවල සිට පාපන්දු තාරකාවන් ඇතුළු ලෝ ප්‍රකට පිරිස් පැමිණ සිටියහ. ඔහුගේ උපන්ගම වන රොසාරියෝ නගරයේ සුඛෝපභෝගී හෝටලයක පැවති දැවැන්ත විවාහ මංගල්‍යය "සියවසේ විවාහය" ලෙසින් ඇතැම් ජනමාධ්‍ය කියා සිටිති.

ආජන්ටිනා ජාතික කණ්ඩායමේ සහ ස්පාඤ්ඤයේ බාසේලෝනා පාපන්දු සමාජයේ සාමාජිකයකුවන මෙසී සහ අන්තොනේලා ළමා වියේ සිටම ප්‍රේමයෙන් බැඳී සිටියහ. ඔවුන් දෙදෙනා මුලින්ම හමුවූයේ මෙසී පස් හැවිරිදි වියේ දීය.

ඇය, ඔහුගේ සමීපම මිතුරා සහ වෘත්තීය පාපන්දු ක්‍රීඩකයකු වන ලුකස් ස්කාග්ලියා ගේ ඥාති සොහොයුරියකි. 13 හැවිරිදි වියේදී බාසේලෝනා සමාජයෙන් ලැබුණු ආරාධනයක් පිළිගත් මෙසී ස්පාඤ්ඤයේ පදිංචියට ගියේය. ලියොනල් මෙසී සහ අන්තොනේලා රොකුසෝ දැන් පුතුන් දෙදෙනෙකු ගේ දෙමාපියන්ය.

ආරාධිත අමුත්තන් 260 ක් සහභාගි වූ විවාහ උත්සවයට ආරක්ෂාව සැපයීම පිණිස සිය ගණනක පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා තිබුණි. පාපන්දු තාරුකාවන් ඇතුළු ඇතැම් අමුත්තන් උත්සවයට පැමිණියේ සිය පුද්ගලික ජෙට් යානාවලිනි.

අමුත්තන් පැමිණෙනු දැක බලා ගැනීම පිණිස විශාල පිරිසක් ගුවන් තොටුපොළට රැස්ව සිටි අතර, අමුත්තන්ගේ ආරක්ෂාව සැලසීම සහ බලහත්කාරයෙන් උත්සවයට කඩා වැදීම වැලකීම පිණිස පෞද්ගලික ආරක්ෂක සමාගමක සේවය ද ලබාගෙන තිබුණි.

මාධ්‍යවේදීන් 150 කට පමණ උත්සවය වාර්තා කිරීම පිණිස අවසර දී තිබුණ නමුත් ඔවුන්ට උත්සවයේ සියලු කටයුතු වාර්තා කිරීමට අවසර නොදුන් බව සංවිධායකයෝ පැවසූහ

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS