ස්වෝම්ප් තිංග් කැන්සල්



සුපර්මෑන්, බැට්මෑන්, වොන්ඩර් වුමන්, ඇක්මා මෑන් ආදී, ‘ඩී.සී.’ චිත්‍ර කතා වීර චරිත අතර සිටින තවත් සුපිරි වීරයකු වන ‘ස්වෝම්ප් තිංග්’ගේ වික්‍රම ඇසුරින් නිර්මාණය කෙරුණු ‘ස්වෝම්ප් තිංග්’ රූපවාහිනී කතා මාලාව ආරම්භ වීමටත් පෙර අවසන් වීම කාගේත් නොසතුටට හේතුවක් වී ඇත.

ස්වෝම්ප් තිංග් යනු  ඇමෙරිකාවේ ලුවිසියානා ජනපදයේ අඳුරු මෙන්ම ගුප්ත වගුරු බිමක ජීවත් වන මානවරූපී ශාකමය ජීවියෙකි. ස්වෝම්ප් තිංග් ශක්තිමත් දැවැන්තයෙකි. පරිසරය සමඟත් ගස් වැල් සමඟත් සම්බන්ධ වීමට හැකි බලයක් ස්වෝම්ප් තිංග්ට තිබේ. ස්වෝම්ප් තිංග් අමරණීය ජීවියෙකි.

තමන් ජීවත් වන වගුර ආරක්ෂා කිරීම ස්වෝම්ප් තිංග්ගේ රාජකාරියයි. වස විස එක් කරමින් වගුරු බිම දූෂණය කරන මනුෂ්‍යයන් ස්වෝම්ප් තිංග්ගේ සතුරන්ය.

ස්වෝම්ප් තිංග් බවට පරිවර්තනය වෙන්නේ ඇලෙක් හෝලන්ඩ් නමැති ජීව විද්‍යාඥයාය. ඒ, වගුරේ පිහිටි සිය රසායනාගාරයේදී සිදුවන අනතුරකට ලක් වීමෙනි.

පුංචි තිරයේ දිගහැරෙන, ආරම්භ වෙද්දීම අවසන් වූ ස්වෝම් තිංග් කතා මාලාවේ ඇලෙක්ස්, ස්වෝම් තිංග් බවට පරිවර්තනය වෙන්නේ වෙඩි ප්‍රහාරයකට ලක් වී වගුරේ මියයද්දීය. වගුරේ ඇති ‘මියුටජන්’ සහ ගුප්ත බලය ඇලෙක්ස්, ස්වෝම් තිංග් බවට පරිවර්තනය කරයි.

ස්වෝම්ප් තිංග් චරිතය නිර්මාණය කළේ ලෙන් වේන් සහ චිත්‍ර ශිල්පී බ්‍රේනී රයිට්සන්ය. ස්වෝම්ප් තිංගේ චරිතය ඇසුරින් පළමුවෙන් චිත්‍රකතාවක් එළිදැක්වූයේ 1971 ජූලි මාසයේදීය.

1990 දශකයේ ස්වෝම්ප් තිංග් චිත්‍රකතා පෙළක් ප්‍රසිද්ධ වූ අතර ඒවා අතිශයින් ජනප්‍රිය විය. 1982 දී ස්වෝම්ප් තිංග් චිත්‍රපට නිර්මාණය විය. 1990 දී ස්වෝම්ප් තිංග් රූපවාහිනී කතා මාලාවක් පමණක් නොව පොඩිත්තන් වෙනුවෙන් ස්වෝම්ප් තිංග් කාටූන් කතා මාලාවක් ද නිර්මාණය විය.

ඒ සියල්ල පරයමින් මේ වනවිට පුංචි තිරයට පැමිණ ඇති ස්වෝම්ප් තිංග් කතා මාලාව කැපී පෙනෙයි. අවාසනාවන්ත ලෙස අවලංගු කර දැමුණත් ස්වෝම්ප් තිංග් කතා මාලාව චිත්‍රකතා ලෝලීන්ගේ පමණක් නොව විචාරකයන්ගේත් පැසසුමට හේතුවක් වී ඇත.

ස්වෝම්ප් තිංග් කතා මාලාව ආරම්භ වෙද්දී අවසන් වූ බව නිවේදනය වීම ස්වෝම්ප් තිංග් රසික රසිකාවියන්ගේ නොසතුටට හේතුවක් වූයේ කතා මාලාව පරිගණක ප්‍රයෝගවලින් පමණක් නොව, දක්ෂ රංගන ශිල්පීන්ගේ රංගනයෙන් අපූරු කතා මාලාවක් වී ඇති බැවැනි.

ක්‍රිස්ටල් රීඩ්, ඇන්ඩි බීන්, වර්ජීනියා මැඩ්සන්, විල් පැටන් පමණක් නොව, කෙවින් ඩුරාන්ඩ් ද අපූරු රංගනයක නියැලෙති. ස්වෝම්ප් තිංග් ලෙස චරිත නිරූපණය කරන්නේ හැඩිදැඩි නළු ඩෙරික් මිටර්ස්ය.

ස්වෝම්ප් තිංග් කතා මාලාව විකාශය වන්නේ ‘ඩී.සී.’ සමාගමේ වැඩසටහන් එළිදක්වන නවතම සේවාව හරහාය. ඉදිරියේදී ‘ඩී.සී.’ රූපවාහිනී කතාමාලා පමණක් නොව චිත්‍රපට පවා මෙම සේවාව හරහා විකාශය වනු ඇත.

කතා මාලාව සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවුණු නිසා එය නැවැත්වීමට සිදුවුණු බව ස්වෝම්ප් තිංග් කතා මාලාවේ නිර්මාණකරුවන් පවසයි. ආරම්භයේදී කතා මාලාව කොටස් 13 කින් නිර්මාණය කිරීමට සැලැසුම් කළත්, අවසානයේ දී එය කොටස් 10 කට සීමා විය. මෙම කොටස් 10 අවසන් වනතුරු විකාශය කරන බව ‘ඩී.සී.’ සමාගම පවසා තිබේ. මේ වනවිට විකාශය වී ඇත්තේ පළමු කොටස් දෙක පමණය.

ලුසිත ජයමාන්න


RECOMMEND POSTS