ස්පයිඩර්මෑන් වික්‍රමය එනවා



කාගේත් ආදරය දිනූ ස්පයිඩර් මෑන් රිදී තිරයට ගෙනාවේ සෝනි සමාගමය.

ටොබී මැග්වයර් ස්පයිඩර් මෑන් ලෙස චරිත නිරූපණය කරන චිත්‍රපට ත්‍රිත්වයක් 2002, 2004 සහ 2007 යන වසරවලදීත්, ඉන්පසු ඇන්ඩෘ ගාෆීල්ඞ් ස්පයිඩර් මෑන් ලෙස ‘අමේසින් ස්පයිඩර් මෑන්’ යන නමින් 2012 සහ 2014 දීත් චිත්‍රපට නිර්මාණය විය. ඒවායින් සාර්ථක වූයේ පළමු ස්පයිඩර්මෑන් වික්‍රම පමණි.

ස්පයිඩර්මෑන්ගේ අයිතිය, ඩිස්නි සහ මාවල් චිත්‍රාගාරය විසින් ලබා ගැනීමත් සමඟ තෙවැනි කැප්ටන් ඇමෙරිකා චිත්‍රපටය වූ ‘කැප්ටන් ඇමෙරිකා සිවිල් වෝ’ චිත්‍රපටයට ස්පයිඩර් මෑන්ගේ චරිතය ඒ විය. එම චරිතයට පණ දුන්නේ යොවුන් නළු ටොම් හෝලන්ඞ්ය. මින් ඉදිරියට ඇවෙන්ජර්ස් චිත්‍රපට මාලාවේ පවා ස්පයිඩර් මෑන් ලෙස ටොම් හෝලන්ඞ් චරිත නිරූපණයේ යෙදෙනු ඇත.

‘ස්පයිඩර්මෑන් හෝම්කමින්’ චිත්‍රපටය ගෙතෙන්නේ උසස් පාසල් අධාපනය ලබන පීටර් පාකර් (ස්පයිඩර්මෑන්) පාදක කර ගනිමිනි. 2016 වසරේ තිරගත වුණු ‘කැප්ටන් ඇමෙරිකා සිවිල් වෝ’ චිත්‍රපටයේ සිදුවීම්වලට පසු සිදුවීම් පෙළක් ප්‍රධාන වශයෙන් මෙම චිත්‍රපටයට ඇතුළත් වෙයි. ‘කැප්ටන් ඇමෙරිකා සිවිල් වෝ’ චිත්‍රපටයේ ස්පයිඩර්මෑන් කවුරුදැයි සොයා ගන්නේත්, අලුත් ඇඳුම් කට්ටලයක් සහ මෙවලම් ලබා දෙන්නේත් අයන්මෑන් හෙවත් ටෝනි ස්ටාර්ක්ය. ‘ස්පයිඩර්මෑන් හෝම්කමින්’ චිත්‍රපටයේ ද පීටර් පාකර්ට ගුරු හරුකම් කියා දෙමින් අවශ්‍ය විටදී සහායට පැමිණෙන්නේ අයන් මෑන්ය. අයන් මෑන් හෙවත් ටෝනි ස්ටාක් ලෙස රොබට් ඩවුනි ජූනියර් යළි රංගනයට එක් වෙයි.

‘ස්පයිඩර්මෑන් හෝම්කමින්’ චිත්‍රපටයේ ප්‍රධාන නපුරා ‘වල්චර්’ (ගිජුලිහිණියා) නමැති චරිතයයි. පියඹා යා හැකි ගිජුලිහිණියකු මෙන් සැරැසුණු මෙම නපුරාට පණ පොවන්නේ හොලිවුඩයේ ප්‍රවීණ නළු මයිකල් කීටන්ය. ‘ස්පයිඩර්මෑන් හෝම්කමින්’ ප්‍රහසනය පිරි, ක්‍රියාදාම චිත්‍රපටයකි. මෙය ජොන් වොට්ස්ගේ අධ්‍යක්ෂණයක් වන අතර ජූලි 7 වැනිදා සිට මෙය ලොව පුරා තිරගත වෙයි.

ලුසිත ජයමාන්න

 


RECOMMEND POSTS