සටන් බිමේ මියගිය චැඩ් රටේ ජනාධිපති



‘යුද්ධයට යන ජනාධිපතිවරයකු දැකලා තියෙනවාද? එහෙම කෙනෙක් ඉන්නවා නම් ලෝකයටම ඉන්නේ මා පමණයි. ඔබ හිතන්නේ මා යුද පෙරමුණට යන්නේ නිර්භීත නිසා කියලද? මා ධෛර්යවන්ත නිසා කියලද? නැහැ. මා නිර්භීත නැහැ. ධෛර්යවන්ත නැහැ. මා යුද පෙරමුණට යන්නේ රට වෙනුවෙන්. රටට ආදරේ නිසා. ජනතාව ආරක්ෂා කරන්න ඕනෑ නිසා. රට අස්ථාවර වෙන්න මා ඉඩ දෙන්නේ නැහැ. ඊට වඩා හොඳයි යුද බිමේ මියැදෙනවා.’

- ජනාධිපති ඉඩ්රිස් ඩෙබී - 2018 මාධ්‍ය හමුවක් අතරතුරේ -

අප්‍රිකාවට අයත් චැඩ් රාජ්‍යයේ ජනාධිපති ඉඩ්රිස් ඩෙබී, බෝකෝ හරාම් ඉස්ලාමීය බෙදුම්වාදී ත්‍රස්තවාදීන් සමඟ සටනට ගොස් සටන් බිමේදී මියගියේ පසුගිය 20 වැනිදාය. කොරෝනා පුවත් මැද එය විදෙස් පුවත් සේවා අතරේ ප්‍රමුඛ පුවතක් බවට පත් විය. චැඩ් ජනාධිපති ඉඩ්රිස් ඩෙබී වෙනුවෙන්, ලෝක නායකයෝ ශෝක පණිවුඩ පවා නිකුත් කරන්න වූහ.

චැඩ් රාජ්‍යයේ හිටපු හමුදාපතිවරයකු ද වූ ජනාධිපති ඉඩ්රිස් ඩෙබී, යුද පෙරමුණට ගොස්, ත්‍රස්තයන්ට එරෙහිව සටන් මෙහෙයවද්දී, ත්‍රස්තයන්ගේ ප්‍රහාරයකට හසුවිය. ඒ, ඔහුගේ ආරක්ෂාවට සිටි හමුදා සොල්දාදුවන් ද සමගය. බරපතල ලෙස තුවාල ලැබූ ජනාධිපති ඉඩ්රිස් ඩෙබී එම ස්ථානයේ දී ම මියගිය බව වාර්තා විය.

68 හැවිරිදි වියෙහි පසුවුණු ඉඩ්රිස් ඩෙබී, වසර 30 ක් තිස්සේ චැඩ් රාජ්‍යයේ ජනාධිපති ලෙස කටයුතු කළේය. මධ්‍යම අප්‍රිකාවේ අයි.එස්.අයි.එස්. සහ අල් කයිඩා ඉස්ලාමීය බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන්වලදී කැනඩාව, ප්‍රංශය සහ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට සහාය දැක්වූයේ ජනාධිපති ඉඩ්රිස් ඩෙබී ය.

ජනාධිපති ඉඩ්රිස් ඩෙබීගේ අභාවය සැලවුණු සැණින් තමන් කම්පනයට පත් වුණු බවත්, ඉඩ්රිස් ඩෙබී තමන්ගේ ‘නිර්භීත යාළුවකු’ බවත් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත. ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ද, ඉඩ්රිස් ඩෙබී වෙනුවෙන් ශෝකය පළ කරන බව ධවල මන්දිරය පවසා ඇත. කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ද චැඩ් ජනාධිපතිවරයා වෙනුවෙන් ශෝකය පළ කළේය.

චැඩ්, ලිබියාවට මායිම් වෙයි. චැඩ් රාජ්‍යයේ උතුරු දෙසින් පිහිටි සහේල් පළාත ලිබියාවෙන් ආ බෝකෝ හරාම් ඉස්ලාමීය බෙදුම්වාදීන් ත්‍රස්තයන්ගේ ග්‍රහණයේ පවතින අතර, එම පාළාත මුදා ගැනීමට චැඩ් හමුදාව සටන් වදී. අවස්ථා කීපයකදී ඉස්ලාමීය ත්‍රස්තවාදීන් චැඩ් රාජ්‍යය ආක්‍රමණය කිරීමට ද උත්සහ කළ නමුත් ජනාධිපති ඉඩ්රිස් ඩෙබීගේ මෙහෙයවීම යටතේ ඔවුන් පරාජය කිරීමට චැඩ් හමුදාව සමත් විය. ප්‍රංශ හමුදාවේ සහාය ද අවස්ථා කීපයකදී ජනාධිපති ඉඩ්රිස් ඩෙබීට හිමිවිය.

චැඩ් රාජ්‍යය නිල වශයෙන් හැඳින්වෙන්නේ චැඩ් ජනරජය යන නමිනි. මෙය උතුරු මධ්‍යම අප්‍රිකාවේ රටවලින් වට වුණු රාජ්‍යයකි. ලිබියාව උතුරින් මායිම්ව පිහිටා ඇති අතර, නැගෙනහිරින් ඇත්තේ සුඩානයයි. දකුණින් මධ්‍යම අප්‍රිකා ජනරජය පිහිටන අතර, නිරිත දෙසින් පිහිටා ඇත්තේ නයිජීරියාවය. බටහිරින් ඇත්තේ නයිගර් රාජ්‍යයයි. 2019 ලෝක බැංකු වාර්තා අනුව චැඩ් රාජ්‍යයේ ජනගනය මිලියන 16 කි.

ඉඩ්රිස් ඩෙබී, සගාවා නමැති වාර්ගික වැසියෙකි. තරුණ වියේ දී ඔහු හමුදාවට බැදුණි. ඒ, 1970 දශකයේ චැඩ් රාජ්‍යය සිවිල් යුද්ධයකට මුහුණ දෙමින් සිටිද්දීය. චැඩ් හමුදා සොල්දාදුවන් පුහුණු කෙරුණේ ප්‍රංශයේ මැදිහත් වීමෙනි. හමුදාපති ධුරයට පත් ඉඩ්රිස් ඩෙබී, 1990 හමුදා කුමන්ත්‍රණයක් මෙහෙයවා, දිගු කාලයක් තිස්සේ බලයේ සිටි හිසේන් අබ්රේගේ ආණ්ඩුව පෙරළා දමා බලය අල්ලා ගත්තේය. 1991 දී ඩෙබී, චැඩ් ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය. ඉන්පසු 1996 වසරේදීත් පසුව 2001 දීත් පැවැති ජනාධිපතිවරණ ජයග්‍රහණය කළේය. 2018 දී ඩෙබී රටේ ව්‍යවස්ථාව වෙනස් කළේ ඔහුට 2033 තෙක් ජනාධිපති ධුරය හෙබවිය හැකි වන ආකාරයටය.

ජනාධිපති ඩෙබීගේ අභාවයත් සමග ඔහුගේ පුතු මහමත් ඉඩ්රිස් ඩෙබී, අන්තර්වාර ජනාධිපති ලෙස පත් කර ගැනීමට චැඩ් හමුදා කවුන්සිලය තීරණය කළේය. චැඩ් හමුදාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ද 37 හැවිරිදි මහමත් ඉඩ්රිස් ය. ජනාධිපති ධුරයට පත් කර ගැනීමෙන් පසු චැඩ් සන්නද්ධ හමුදාවේ උත්තරීතර නායකයා ලෙස තනතුරක් ද මහමත් ඉඩ්රිස් ට පිරිනමා ඇත.

අසල්වැසි මාලි රාජයයේ සිටින එක්සත් ජාතින්ගේ සාම හමුදාවට අයත් කැනඩා සොල්දාදුවන්ට නායකත්වය දුන් අණ දෙන නිලධාරියකු ලෙස ද මහමත් ඉඩ්රිස් කටයුතු කර තිබේ. මාස 18 කින් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පවත්වන තුරු, හමුදා ජනරාල්වරුන් 15 දෙනකුගෙන් සහ තවත් රජයේ ඉහළ නිලධාරීන් 14 දෙනකුගෙන් සමන්විත පාලක මණ්ඩලයක් පිහිටුවීමට නව ජනාධිපති ලෙස වැඩ බාර ගනිමින් මහමත් ඉඩ්රිස් කටයුතු කළේය.

අල් ජසීරා ඇසුරිනි


RECOMMEND POSTS