සජීවී සාකච්ඡාව අතරතුරේ භූමි කම්පාවක්



නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන් සජීවී රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වී අදහස් දක්වමින් සිටිද්දී නවසීලන්තයේ වෙලිංටන් අගනුවර භූමි කම්පාවකින් කැලඹිණි.

භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.8 ක් ලෙසය. භූමි කම්පාවේ අපිකේන්ද්‍රය සටහන් වී ඇත්තේ ලෙවින් නැමැති නගරයේ සිට කිලෝ මීටර් 30 ක් දුරින් කිලෝ මීටර් 37 ක් ගැඹුරිනි.

අගමැතිනිය සම්මුඛ සාකච්ඡාවට එක් වූයේ 'බී හයිව්' (මී වදය) යන නමින් ද හැ‍ඳින්වෙන නවසීලන්ත පාර්ලිමේන්තුවේ සිටය. පුවත් නාළිකාව වෙනුවෙන් එම නාළිකා ගොඩනැගිල්ලේ පුවත් මැදිරියේ සිට සජීවීව ඇය සම්බන්ධ කරගෙන සිටියේ පුවත් නිවේදක රයන් බ්‍රිජ් ය

භූමි කම්පාව හටගත් අවස්ථාවෙදී පාර්ලිමේන්තු ගොඩනැගිල්ල දෙදරා යන අයුරු සහ අගමැතිනිය උඩ බිම බලන අයුරු සජීවීව දැකගත හැකි විය. භූමි කම්පාවෙන් අගමැතිනිය කලබල නොවූවාය.

භූමි කම්පාව අවසන් වූ පසු 'ඒක නම් ටිකක් සැර භූමි කම්පාවක් නේද රයන්' යැයි ඇය පුවත් නිවේදක රයන්ගෙන් විමසීමක් ද කළාය. අනතුර පහව යෑමෙන් පසු මාධ්‍ය සාකච්ඡාව යළි ඇරැඹිණි. සජීවී මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූයේ 'කොවිඩ් 19' වයිරසය පාලනය කිරීම සහ රටේ දෛනික කටයුතු යළි ආරම්භ කිරීම සම්බන්ධයෙනි.

වෙලිංටන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS