ශෙමාරා ලොව බලවත් කාන්තාවන් අතරට



ලෝ ප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තවක ද ඇතුළත් ව ඇත.

එලෙස ඇතුළත්ව ඇත්තේ එක්සත් රාජධානියේ උපත ලැබූ ශෙමාරා වික්‍රමනායක වන අතර ඇය එම ලැයිස්තුවේ 29 වැනි ස්ථානයේ පසුවෙයි.

ශෙමාරාගේ පියා ශ්‍රී ලාංකිකයකු වන අතර ඔහු වෛද්‍යවරයෙකි.

ශෙමාරා එක්සත් රාජධානියේ උපත ලැබූ අතර කලක් ශ්‍රී ලංකාවේ ද ජීවත් වූවා ය. ඇයට වසර 13ක් වනවිට ශෙමාරා සහ ඇයගේ පවුලේ සාමාජිකයන් සමග ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූවා ය.

ඔස්ට්‍රේලියාවේ දී සිය උසස් අධ්‍යාපනය ලැබූ ශෙමාරා 1987 වසරේ දී ආයෝජන බැංකු සමූහයක් වන මැකෝරි බැංකුව සමඟ එක්වූවාය. ඇය වසර 20කට ආසන්න කාලයක් එම බැංකුවේ රැකියාව කිරීමෙන් අනතුරුව   2008 වසරේ දී එහි වත්කම් කළමනාකරණ (ඇසට් මැනේජ්මන්ට්) හි ප්‍රධානියා ලෙස තේරී පත්වූවා ය.

ශෙමාරා වික්‍රමානායක මේ වනවිට මැකෝරි බැංකු සමූහයේ කළමනාකරණ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී තනතුර හොබවයි. ඇය එම තනතුරට පත්වූයේ 2018 වසරේ දී ය.

ශෙමාරා වික්‍රමනායක පුතුන් දෙදෙනකුගේ මවක් වන අතර ඔහුගේ ස්වාමිපුරුෂයා ද හිටපු ආයෝජන බැංකුකරුවකු වේ. 

ෆෝබ්ස් සඟරාව මෙලෙස ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා නම් කළේ 17 වැනි වරට අතර මෙවරත් එහි මුල්තැන ගැනීමට සමත්ව ඇත්තේ ජර්මානු නායිකා චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ය. ඇය අඛණ්ඩව එම ස්ථානයට පත්වූ 10 වැනි වසර මෙය වේ.

ෆෝබ්ස් සඟරාව ඇසුරිනි


RECOMMEND POSTS