ශ්‍රද්ධා කපූර්ට සුබ උපන් දිනයක්



‘තීන් පාතී’ හරහා ‘ස්ත්‍රී’ තෙක් බොලිවුඞ් චිත්‍රපට රැසකට දායක වූ බොලිවුඞ් සුරූපිනිය ශ්‍රද්ධා කපූර් අද (3) සිය 32 වැනි උපන් දිනය සමරයි. ළමා නිළියක ලෙස රිදී තිරයට පිවිසි ශ්‍රද්ධා අද විචාරකයන්ගේ පැසැසුමටත්, සිනමා ලෝලීන්ගේ ආදරයටත් පාත්‍ර වූ නිළියකි.

ශ්‍රද්ධා යනු බොලිවුඞ් නළු ශක්ති කපූර්ගේ සහ ශිවංජි කොලපූර්ගේ දියණියයි. උපන්නේ මුම්බායි නුවරය. මුම්බායි හි ජමන්බායි නර්සී පාසලේ අධ්‍යාපනය ලැබුවාය. වැඩිදුර අධ්‍යාපන කටයුතු කළේ බොම්බේ ඇමෙරිකන් විදුහලේය.

ශ්‍රද්ධාගේ පවුලේ බොහෝ දෙනකු සිනමාවට සම්බන්ධය. ශ්‍රද්ධාගේ වැඩිමල් සොහොයුරා බොලිවුඞ් නළු සිද්ධානාත් කපූර්ය.

ශ්‍රද්ධා මේ වන විට බොලිවුඞ් සිනමා නිර්මාණ 13 කට සම්බන්ධ වී ඇත. ඇයගේ මුල් කාලීන සිනමා නිර්මාණ සාර්ථක වූයේ නැත.  2010 වසරේ තිරගත වුණු ‘ටීන් පාතී’ චිත්‍රපටයට අමිතාබ් භච්චන්, ආර් මාධවන්, බෙන් කිංග්ස්ලී සම්බන්ධ වූ නමුත් එය අසාර්ථක විය.

‘ටීන් පාතී’ සඳහා ශ්‍රද්ධා තෝරා ගැනීම සිදුවූයේ නිෂ්පාදක අම්බිකා හින්ඩූජාය. ඒ ශ්‍රද්ධාගේ ඡායාරූප ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය හරහා දැකීමෙනි. ‘ටීන් පාතී’ චිත්‍රපටයේ ශ්‍රද්ධා චරිත නිරූපණය කරන්නේ උසස් පාසල් සිසුවියක ලෙසය. චිත්‍රපටය අසාර්ථක වුවත්, ඇය කළ රංගනය විචාරකයන්ගේ පැසැසුමට ලක් වුණු අතර, හොඳම නවක නිළියට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය ඇයට හිමිවිය.

‘ජෝන් ටකර් මස්ට් ඩයි’ චිත්‍රපටය ඇසුරින් නිර්මාණය වූ 2011 වසරේ ‘ලුව් කා එන්ඞ්’ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වූයේ ශ්‍රද්ධාය. මෙම චිත්‍රපටය ද බොක්ස් ඔෆ්ස් වාර්තා අතරට එක් වූයේ නැත. කෙසේ නමුත් ශ්‍රද්ධා කළ රංගනය විචාරකයන්ගේ පැසැසුමට ලක්විය.

ශ්‍රද්ධා කපූර් බොලිවුඩය ජය ගත්තේ අතිශය ජනප්‍රිය, 2013 දී බොක්ස් ඔෆිස් වාර්තා පිහිට වූ මෝහිත් සූරියේ ආශිකී 2 චිත්‍රපටයෙනි. ලොව පුරා බොහෝ දෙනා ශ්‍රද්ධා කපූර් ගැන දැනගත්තේ ද මෙම චිත්‍රපටයෙනි. 2014 දී ඒක් විලන් චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වූයේ ද ශ්‍රද්ධාය.

මෙම චිත්‍රපටය ආදායම් වාර්තා අතරට එක්වූවා පමණක් නොවේ, විචාරකයන්ගේ පැසැසුමට ද ලක් විය. ‘ගලියාන්’ ගීතය ගායනා කරමින්, ශ්‍රද්ධා කපූර් ගායිකාවක ලෙස ඇගේ හැකියාව පෙන්වූයේ ද ‘ඒක්විලන්’ චිත්‍රපටය හරහාය.

ඉන්පසු ‘හයිඩර්’, ‘ඒබීසීඩී 2’, ‘බාගී’, ‘රොක් ඕන් 2’, ‘ඕකේ ජන්නු’, ‘හසීනා: ද ක්වීන් ඔෆ් මුම්බායි’, ‘හාෆ් ගර්ල් ෆ්‍රෙන්ඞ්’ යන චිත්‍රපටවලටත් ‘ස්ත්‍රී’ චිත්‍රපටයටත් සම්බන්ධ වූවාය. ‘ස්ත්‍රී’ චිත්‍රපටය අතිශය ජනප්‍රිය වූ අතර, එහි දෙවැනි කොටස මෙම වසරේ හෝ ලබන වසරේ හෝ තිරගත වීමට නියමිතය.

මෙම 2019 වසරේ ශ්‍රද්ධාගේ ප්‍රධාන චිත්‍රපටය වනු ඇත්තේ ‘සාහෝ’ ය. මෙම චිත්‍රපටයේ ඇය, බාහුබාලී ප්‍රධාන නළු ප්‍රභාස් සමඟ ප්‍රධාන චරිත නිරූපණය කරයි. චිත්‍රපටයේ තවත් පූර්ව ප්‍රචාරක දසුන් පෙළක් අද ප්‍රසිද්ධියට පත් කෙරුණි. ඒ, ශ්‍රද්ධා ට සුබ උපන් දිනයක් යැයි ප්‍රාර්ථනා කරමිනි. ශ්‍රද්ධා කපූර්, ඉන්දීය බැඞ්මින්ටන් ක්‍රීඩිකා සානියා නෙවාල්ගේ චරිතය නිරූපණය කරමින් චිත්‍රපටයකට දායක වීමට ද නියමිතය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS