වොන්ඩර් වුමන් හිතුවට වඩා ජනප්‍රියයි



අධ්‍යක්ෂිකා පැටී ජෙන්කින්ස් සහ ගැල් ගැඩොට්

ඩී.සී. චිත්‍රකතා වීරවරියක වන ‘වොන්ඩර් වුමන්’ගේ වික්‍රමය ඇතුළත් වොන්ඩර් වුමන් ක්‍රියාදාම චිත්‍රපටය මේවනවිට ලොව පුරා සිනමාහල් රැසක තිරගතවීම් ආරම්භ කර ඇති අතර, කවුරුත් පුදුම කරමින් එය එක රැයින් බොක්ස් ඔෆිස් වාර්තා අතරට ද එක් වී තිබේ.

‘වොන්ඩර් වුමන්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂිකා පැටී ජෙන්කින්ස්ය. 2003 වසරේ ‘මොන්ස්ටර්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂිකාව වූයේ ද පැටීය. කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නගන පැටී මානව ක්‍රියාකාරිනියක ද වන්නීය.

සුපර්මෑන්, බැට් මෑන් වැනි ඩී.සී. චිත්‍රකතා වීරයන් අතර සිටින කාන්තා නියෝජනය වන්නේ වොන්ඩර් වුමන්ය. එවැනි චරිතයක් පාදක කර ගනිමින් කාන්තා වීරවරියක සිනමා රසික රසිකාවියන් අතරට රැගෙන යෑමට තමන්ට හැකි වීම ලොකු සතුටක් බව පැටී පවසා තිබේ.

හොලිවුඞ් සිනමාවේ පමණක් නොව, ලෝක සිනමාවේ ද සිනමා අධ්‍යක්ෂකවරියකගේ චිත්‍රපටයක් මෙලෙස එක රැයින් බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවීම පවා වාර්තාවක් බව ලෝ සුපතල ෆෝබ්ස් සඟරාව පෙන්වා දී ඇත.

ඇමෙරිකාව තුළ ප්‍රදර්ශනය ආරම්භ කළ අවස්ථාවේදී වොන්ඩර් වුමන් ඇමෙරිකන් ඩොලර් මිලියන 100 සීමාව පසු කළේය.

වොන්ඩර් වුමන්ගේ චරිතයට පණ පොවන්නේ සුරූපී නිළි ගැල් ගැඩොට්ය. වොන්ඩර් වුමන් චරිතය පසුගිය 2016 වසරේ තිරගත වුණු ‘බැට්මෑන් වර්සස් සුපර්මෑන්’ චිත්‍රපටයට ද ඇතුළත් විය. ඒ, සුළු චරිතයක් ලෙසිනි. මෙම වොන්ඩර් වුමන් චිත්‍රපටයට පාදක වන්නේ වොන්ඩර් වුමන් හෙවත් ඩයනා ප්‍රින්ස්ගේ වික්‍රමයයි.

(ෆෝබ්ස් ඇසුරිනි)

රූගත කිරීම් සිදුවෙද්දී

 


RECOMMEND POSTS