විලියම් කේට් පෝලන්තයේ



පෝලන්තයේ සංචාරයක යෙදෙන විලියම් කුමරු සහ කේට් මිඞ්ල්ටන් කුමරියට පෝලන්ත රජයෙන් පමණක් නොව එරට වැසියන්ගෙන් ද උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

රාජකීය යුවල පෝලන්තයේ වෝර්ෂෝ බලා පැමිණියේ  ඊයේ (18) දිනයේය. පුංචි ජෝර්ජ් කුමරු සහ චාලට් කුමරිය ද මව සහ පියා සමඟ මෙම සංචාරයට එක් වී සිටිති.

පෝලන්ත ජනාධිපති ඇන්දර්ස්ජි ඩූඩා සහ ආර්යාව අගතා රාජකීය යුවල උණුසුම් අයුරින් පිළිගත්තේ වෝෂෝ අගනුවර ජනාධිපති මන්දිරයේදීය.

ඉන්පසු විලියම් කුමරු සහ කේට් කුමරිය දෙවැනි ලෝක යුද්ධයේ දී පෝලන්ත වැසියන් වධ බන්දනයට ලක් කෙරුණු සිරකඳවුරක් පවා නැරැඹීමට ගියහ. එහිදී ජර්මානුවන්ගේ සිරකරුවන් වී දිවි ගලවා ගත් පෝලන්ත වැසියන් කිහිප දෙනකු ද හමුවී ඔවුන්ගේ අතීත අත්දැකීම් විමසා බැලීමට ද කේට් කුමරිය අමතක නොකළාය.

අමානුෂික ලෙස ඝාතනයට ලක්වුණු පෝලන්ත වැසියන් වෙනුවෙන් යුද ස්මාරකයකට පුෂ්පෝපහාර දැකීමට ද රාජකීය යුවල අමතක නොකළහ.

විලියම් කුමරුට වඩා කේට් කුමරිය දැක ගැනීමට සැන්ක් නුවරට මහ පිරිසක් රැස්ව සිටියහ. මාධ්‍ය වාර්තා කළේ දහසකට ආසන්න පිරිසක් පැය ගණනාවක් තිස්සේ පෝලිම් ගැසී කේට් කුමරිය දැක ගැනීමට ආසාවෙන් සිටි බවය. කේට් කුමරිය, ඉතා නිහතමානීව, තමන්ට ආදරේ කරන පෝලන්ත වැසියන් අතරට ගොස් ඔවුන් සමඟ කතාබහ කිරීමට අමතක නොකළාය.

විලියම් කුමරු සහ කේට් කුමරිය පෝලන්තයට පැමිණියේ පස් දින විදෙස් සංචාරයක් අතරතුරේය. ඔවුහු ජර්මනිය බලා පිටත්ව ගියහ. රාජකීය යුවල ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල් හමුවීමට ද නියමිත යැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS