වැසිකිළි ප්‍රශ්නය බොලිවුඞ් සිනමාවට



ඉන්දියාවේ ප්‍රාන්ත රැසක වැසියෝ වැසිකිළි පාවිච්චි නොකරති. ඉන්දීය මධ්‍යම රජය සහ ප්‍රාන්ත රජය මැදිහත් වී නිරන්තරයෙන් සනීපාරක්ෂාව ගැනත් හොඳ පුරුදු ගැනත් ජනතාව දැනුමවත් කෙරේ.

වැසිකිළි භාවිතය හුරු කිරීම සඳහා වැසිකිළි පරිහරණය කරන්නන්ට ඉන්දීය රුපියලක මුදලක් පවා ගෙවීමට ඇතැම් ප්‍රාන්ත බලධාරීහු කටයුතු කරති.

සමාජීය ප්‍රශ්නයක් බවට පත් වී ඇති, වැසිකිළි පරිහරණය නොකිරීම අලලා, සත්‍ය සිදුවීම් ද පාදක කර ගනිමින් නිර්මාණය වුණු ‘ටොයිලට්: ඒක් ප්‍රේම් කථා’ ඉදිරියේ දී තිරගත වීමට නියමිත බොලිවුඞ් චිත්‍රපටයකි.

මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මේ වනවිට ප්‍රසිද්ධියට පත්වී ඇති අතර එය කාගේත් අවධානයට ලක් වී තිබේ.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ සුපිරි බොලිවුඞ් නළු ආක්ෂේ කුමාර් වන අතර ප්‍රධාන නිළිය වන්නේ භූමි පෙඞ්නෙකාර්ය. ‘වැසිකිළි ප්‍රශ්නය’ මුල්කොට ගත් මෙය ආදර අන්දරයක් බව පැවැසෙයි.

ඉන්දියාව පිරිසුදු තැනක් බවට පත් කිරීමට අගමැති නරේන්ද්‍ර මෝදි ගන්නා උත්සාහයට මෙම චිත්‍රපටය රුකුලක් යැයි ප්‍රකට නළු නිළියන් සහ සිනමා නිර්මාණකරුවන් අදහස් දක්වා ඇත.

චිත්‍රපටය එළිදැක්වීමට පෙර සිටම ඊට යහපත් ප්‍රතිචාර ලැබෙමින් තිබෙන බව ද බොලිවුඩයෙන් වාර්තා වේ.

(එන්.ඩී.ටීවී. ඇසුරිනි)


RECOMMEND POSTS