වතුර වීදුරුවෙන් ගහලා



රුසියානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් කිහිප දෙනකු සහභාගී වුණු සජීවී රූපවාහිනී විවාදයක් පසුගිය 28 වැනිදා උණුසුම් විය.

විවාදය සජීවීව විකාශය වූයේ රුසියා රාජ්‍ය රූපවාහිනී නාළිකාවෙනි.  එහිදී පරුෂ වචන කියමින් කෑ කෝ ගසමින්, කලහකාරීව හැසිරුණු ජාතිකවාදී පක්ෂ අපේක්ෂක පරිණත දේශපාලනඥ ව්ලැදිමීර් සිරිනෝව්ස්කී වතුර ප්‍රහාරයකට ලක්විය.

ව්ලැදිමීර් සිරිනෝව්ස්කීට වතුර ප්‍රහාරය එල්ල කළේ, ප්‍රතිවාදී ජනපති ධුර අපේක්ෂිකා 36 හැවිරිදි සේනියා සොබ්චැක්ය. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන එකම අපේක්ෂිකාව සේනියා වෙයි.

ජාතික පක්ෂ නායක ව්ලැදිමීර් සිරිනෝව්ස්කී ඉක්මණින් කෝපයට පත්වන දේශපාලනඥයකු ලෙස ප්‍රකටය. ‘උමතු ව්ලැඞ්’ යන නමින් ද ඔහු හැඳින්වෙයි.

විවාදය ආරම්භ වූ අවස්ථාවේ පටන් ව්ලැදිමීර් සිරිනෝව්ස්කී, ඊට සහභාගී වී සිටි සේනියා සොබ්චැක්ට චෝදනා පිට චෝදනා එල්ල කරන්නත්, පුරුෂ වචනයෙන් ඇයට බැණ වඳින්නත් පටන් ගත්තේය. විවාදය මෙහෙය වූ මාධ්‍යවේදියාට පවා සිරිනෝව්ස්කී පාලනය කර ගැනීමට නොහැකි විය.

සිරිනෝව්ස්කී දිගින් දිගටම සේනියා සොබ්චැක් මෝඩියක සහ වෛශ්‍යාවක යැයි හඳුන්වා දෙමින් චෝදනා නගන්න විය. සිරිනෝව්ස්කී සන්සුන් කිරීමට සේනියා සොබ්චැක් උත්සාහ ගත් නමුත් ඇය අසාර්ථක විය.

බැරිම තැන එම අවස්ථාවේදී සේනියා අසල තිබුණු වතුර වීදුරුව ගෙන සිරිනෝව්ස්කීගේ මුහුණට දමා ගසා පවසන්නේ ‘සන්සුන් වෙන්න සන්සුන් වෙන්න’ කියමිනි.

රුසියානු ජනාධිපතිවරණය ලබන 18 වැනිදා පැවැත්වීමට නියමිතය. අපේක්ෂකයෝ හත් දෙනෙක් ජනපතිවරණයට ඉදිරිපත් වී සිටිති. 36 හැවිරිදි සේනියා සොබ්චැක් මාධ්‍යවේදිනියකි. ඇය සුරූපිනියකි. රූපවාහිනී නිවේදිකාවකි. නිළියකි.  ඇය නියෝජනය කරන්නේ රුසියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ප්‍රගතිශීලී පක්ෂයයි.

සේනියා පසුගිය වසරේ දින 20 ක සිර දඬුවමක් වින්දේය. ඒ, ජනපති ව්ලැදිමීර් පුටින්ගේ අකටයුතුකම් සහ රජයේ දූෂණ වංචා ආදිය සම්බන්ධයෙන් රට වැසියන්ට හෙළි කරමින්, ප්‍රගතිශීලී පක්ෂ ක්‍රියාකාරීන් පිරිවරාගෙන, නීතිවිරෝධී ආකාරයෙන් විරෝධතා රැළි පැවැත්වූයේ යැයි යන චෝදනාවලට වරදකාරිය වීමෙනි.

රුසියාවේ විපක්ෂ නායක ලෙස පිළිගැනෙන්නේ ප්‍රගතිශීලී පක්ෂයට නායකත්වය දෙන 42 හැවිරිදි ඇලෙක්සි නවාල්නීය. ඔහුට මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකිය. ඒ, අධිකරණ තීන්දුවක් මුල්කොට ගනිමිනි.
සේනියා සොබ්චැක් ශාන්ත පීටර්බර්ග් නුවර පුරපති ලෙස කටයුතු කළ අභාවප්‍රාප්ත ඇනටෝලි සොබ්චෙක්ගේ දියණියයි.

ඇනටෝලි සොබ්චෙක් 1990 දශකයේදී රුසියානු කේ.ජී.බී. රහස් ඔත්තු සේවයේ දක්ෂ නිලධාරියකුට සිය පරිපාලනයේ රැකියාවක් සොයා දුන්නේය. එම නිලධාරියා ව්ලැදිමීර් පුටින්ය.

පුටින්ට ගුරුහරුකම් කියා දුන්නේ ඇනටෝලි සොබ්චෙක් යැයි රුසියානු පුවත් සේවා වාර්තා කර තිබේ. විපක්ෂය නියෝජනය කළත්, සේනියා සොබ්චැක් රුසියානු වැසියන් අතරේ ජනප්‍රිය තැනැත්තියකි.

ඇය එරට රූපවාහිනී රියැලටි වැඩසටහන් මෙහෙයවන්නීය. කවුරුත් මවිතයට පත් කරමින්, රුසියානු ජනපති පුටින්ට එරෙහිව යමින් සේනියා සොබ්චැක් ප්‍රගතශීලී පක්ෂය සමඟ එක් වූයේ 2012 වසරේය.

(ඬේලිමේල් ඇසුරිනි)

 


RECOMMEND POSTS