ලංකාවේ කෑම හදන ඕස්ටේ‍්‍රලියා අගමැති



ඕස්ටේ‍්‍රලියා අග‍්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් හරි අපූරු චරිතයකි. විටෙක විනෝදබරය. විටෙක මුරණ්ඩුය. කිසිම අවස්ථාවක  ප‍්‍රතිපත්ති වෙනස් කරන්නේ නැත. විටෙක හිතුවක්කාරී චරිතයකි. පැසැසුම් ගැරහුම්වලට ලක් වන අයෙකි. ස්කොට් මොරිසන් සංචාරකයෙකි. කි‍්‍රකට් පිස්සෙකි. දක්ෂ කෝකියෙකි. මේ වනවිට අගමැතිවරයා  ඕස්ටේ‍්‍රලියාවේ ශ්‍රී ලාංකිකයන්ගේ අවධානය දිනා ගැනීමට සමත් වී සිටී. ඒ, ශ්‍රී ලාංකික කෑම පිළියෙළ කරමිනි.

කොරෝනා වයිරස වසංගතය හේතුවෙන්,  ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රාන්ත සහ නගරවලට තහංචි පනවා ඇති අතර පසුගිය සෙනසුරාදා (23) අගමැති මොරිසන් රාති‍්‍රය ගත කළේ කැන්බරා නුවර කුලියට ගත් බංගලාවක ය. ඒ, බිරිඳ ජෙනිෆර් සහ දියණියන් දෙදෙනා ද සමඟය. අගමැතිගේ දියණියන් දෙදෙනා ඇබී සහ ලිලී ය. ඇබීගේ වයස අවුරුදු 12 ක් වන අතර ලිලීගේ වයස අවුරුදු 10 කි.

‘මා කෑම උයන්න හරිම ආසයි. මා පිළියෙළ කරන්න වඩාත් කැමැති ශ්‍රී ලංකාවේ කෑම’ යැයි පවසමින්, පසුගිය සෙනසුරාදා (23) අගමැති මොරිසන් ශ්‍රී ලංකාවේ ක‍්‍රමයට බැටළු මස් බැදුමක් සහ ගෝදම්බ රොටි පිළියෙළ කළේය.

‘සෙනසුරාදා රාති‍්‍රය ව්‍යංජනවලට මුල්තැන. මා ශ්‍රී ලංකාවේ විදියට පිළියෙළ කරන බැටළු මස් බැදුම සහ ගෝදම්බ රොටි කන්න ජැන් (අගමැති බිරිඳ) සහ කෙල්ලෝ දෙන්නා හරිම ආසයි. කොරෝනා වසංගතය නිසා මෙල්බර්න් ලොක්ඩවුන්. නිවසින් පිටතට යන්න  ඕනෑ නෑ නිවසේ සිට මේ රස කෑම හදාගන්න විදිය කියලා දෙන්න මට පුළුවන්’ යැයි පවසමින්, අගමැති මොරිසන් කෑම පිළියළ කළේ පියවරෙන් පියවර ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍යය ඔස්සේ ඡයාරූප පළ කරමින් ඒ ගැන විස්තර කරමිණි.

අගමැති මොරිසන්ගේ ෆේස්බුක් ගිණුමට සම්බන්ධ එක් ශ්‍රී ලංකික  ඕස්ටේ‍්‍රලියානුවන් අදහස් දක්වා තිබුණි.

අග‍්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ශ්‍රී ලංකාවට ආගන්තුකයකු නොවෙයි. මීට වසර කීපයකට පෙර මොරිසන් මෙරට සංචාරය කර තිබේ. ඒ,  ඕස්ටේ‍්‍රලියා අගමැති ලෙස නොවෙයි. එදා  ඕස්ටේ‍්‍රලියා අගමැති ධුරය හෙබවූයේ ජූලි බිෂොප් ය.

‘ශ්‍රී ලංකාවේ සංචාරය කරද්දී, මටත් මා සමඟ සිටි නියෝජිත කණ්ඩායමටත් ශ්‍රී ලාංකික කෑම රස බලන්න ලැබුණා. ශ්‍රී ලංකාවේ කොතැන ගියත් කෑම හරිම රසයි. මා ඒවාට පි‍්‍රය කළා පමණක් නොවෙයි,  ඒවා පිළියෙළ කරන ආකාරය ගැන ඉගෙන ගත්තා. මා ශ්‍රී ලංකාවට හරිම කැමතියි.’ යැයි අග‍්‍රාමාත්‍ය මොරිසන්, වරක්  ඕස්ටේ‍්‍රලියාවේ ඒ.බී.සී. පුවත් නාළිකාවේ සූපවේදිනයක මෙන්ම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ද වන ඇනබෙල් සමඟ ශ්‍රී ලංකාවේ ක‍්‍රමයට ‘සී ෆූඞ්’ සහ සමෝමා පිළියෙළ කරමින් පැවැසුවේය.

ලූසිත ජයමාන්න
ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS