රජිනි කාන්ත් එන්නේ නෑ



දකුණු ඉන්දීය සුපිරි නළු රජිනි කාන්ත් ලබන මාසයේ මුලදී සිදු කිරීමට නියමිතව තිබූ  ශ්‍රී ලංකා සංචාරය අවලංගු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.

ඔහුගේ මෙම  ශ්‍රී ලංකා සංචාරයට එරෙහිව එල්.ටී.ටී.ඊ හිතවාදී ,තමිල්නාඩු ප්‍රාන්ත දේශපාලනඥයින් කිහිපදෙනෙකු විසින් දැඩි විරෝධය පළ කිරීම නිසා මෙම සංචාරය අවලංගු කිරීමට හේතුවී ඇතැයි පළවන ‘‘ ද හින්දු ‘‘ සහ ඩෙකෑන් ක්‍රොනිකල් පුවත්පත වල සඳහන් වේ.

තමිල්නාඩුවේ විදුතලෙයි චිරුතායිගල් කච්චි පක්ෂයේ නායක තොල් තිරුමාවලන් ,එම්.ඩී.එම්.කේ පක්ෂයේ නායක වයිකෝ විසින් මෙම ශ්‍රී ලංකා  සංචාරය අවලංගු කරන්නැයි තමන්ගෙන් ඉල්ලීමක් කළ බවත් ,එම ඉල්ලීම සලකා බලමින් තමන් මෙම සංචාරය අවලංගු කළ බව රජිනිකාන්ත් විසින් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ඔවුන් දෙපළ සමඟ තමන් පවත්නා හෘදයාංගම සම්බන්ධතාවය හේතුවෙන් ඔවුන් කළ ඉල්ලීම පිළිගත්තේ යැයිද රජිනිකාන්ත් සිය නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.

තමා කලාකරැවෙක් මිස ,දේශපාලනඥයෙක් .තිරුමාවලන් කියු පරිදි මගේ රැකියාව වන්නේ ජනතාවට විනෝස්වාදය ගෙන ඒමයි. අනාගතයේදී ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව මුණ ගැසීමත් ,එරට යුද්ධයේ අවසන් අදියරේදී සිදුවූයේ කුමක්ද යන්න එය සිදු වූ ස්ථාන දැක බලා ගැනීමට බලාපොරොත්තු වෙනවා.නමුත් අනාගතයේදී මෙවැනි දේශපාලන ගැටලුවක් මතු නොවේ යැයි මා ප්‍රාර්ථනා කරනවා යැයිද රජිනිකාන්ත් නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඥානම් පදනමෙන් උතුරේ අවතැන් පවුල් 150 ක් සඳහා අලුතින් ඉදිකළ නිවාස බෙදා දීමේ සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් දකුණු ඉන්දීය සුපිරි නළු රජිනි කාන්ත් ලබන මස 09 වැනිදා යාපනයේ පැවැත්වෙන උත්සවයකට සහභාගීවීමට නියමිතව තිබිණි.

මෙම නිවාස බෙදා දීමේ උත්සවයෙන් අනතුරුව රජිනිකාන්ත් මහතා යාපනයේදී ජනතාව ඇමතීමටත් ,ලබන මස 10 වැනිදා වව්නියාවේදී තවත් නිවාස බෙදාදීමේ උත්සවයකටද , රුක් රෝපණ වැඩසටහනකටද සහභාගී වීමට නියමිතව තිබිණි.

රජිනි කාන්ත් වර්තමානයේ රඟපාමින් සිටින  ‘‘2.0 ‘‘ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සිදුකරන ලීසා නිෂ්පාදන සමාගමේ සමාජ සුබසාධන සංවිධාන වන්නේ ඥානම් පදනමයි.ඒ අනුව ඥානම් පදනම විසින් රජිනිකාන්ත් ගේ මෙම ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධීකරණය කර තිබිණි.

තිළිණි ද සිල්වා
ඉන්දීය පුවත් සේවා ඇසුරිනි


RECOMMEND POSTS