යූජීන් කුමරියගේ මංගල්‍යය සිකුරාදා



බි‍්‍රතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජිනගේ මිණිපිරියක වන යෝක් හි යූජීන් කුමරියගේ විවාහ මංගල උත්සවය සිකුරාදා (12) වින්ස්ඩෝර් මාලිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

යූජීන් කුමරියගේ අත ගන්නේ රාජකීයයකු නොව, සාමාන්‍ය බි‍්‍රතාන්‍ය වැසියෙකි. ඔහු ව්‍යාපාරික 31 හැවිරිදි ජැක් බෲක්ස්බෑන්ක් ය. යූජීන් සහ ජැක් දෙදෙනාගේ ආදර අන්දරය ආරම්භ වී ඇත්තේ 2010 වසරේ දී යැයි බි‍්‍රතාන්‍ය පුවත් සේවා වාර්තා කරයි.

රාජකීය මංගල උත්සවයක් වුවත්, මෙම මංගල උත්සවය මීට මාස පහකට පෙර පැවැත්වුණු හැරී කුමරුන්ගේත් ඇමෙරිකන් ජාතික ටෙලි නිලි මේගන් මාකෙල්ගේත් විවාහ මංගල උත්සවය තරම් කැපී පෙනෙන මංගල උත්සවයක් නොවනු ඇත.

ඊට හේතුව, 28 හැවිරිදි යූජීන් කුමරිය, බි‍්‍රතාන්‍ය රජ කිරුළට හිමිකම් කියන නව වැන්නා වීමය. යූජීන් කුමරිය, විලියම් සහ හැරී කුමරුන් මෙන් බි‍්‍රතාන්‍ය වැසියන්ගේ ආදරයට පාත‍්‍ර වූ කැපී පෙනෙන චරිතයක් ද නොවෙයි.

යූජීන් වික්ටෝරියා හෙලේනා කුමරිය දෙවැනි එලිසබත් මහ රැජිනගේ දෙවැනි පුතු යෝක් හි ආදිපාද ඇන්ඩෲ කුමරුන්ගේ බාල දියණියයි. කුමරිය උපත ලබා ඇත්තේ 1990 මාර්තු 23 වැනිදාය. මව යෝක් හි සේරා ආදිපාදවරියයි. යූජීන් කුමරියට වැඩිමල් සොහොයුරියක ද සිටී. ඇය බි‍්‍රයෙටි‍්‍රස්ය.

පැවැත්වීමට නියමිත විවාහ මංගල උත්සවයේ ආරක්ෂාව වෙනුවෙන් රජ පවුල වැය කරන මුදල ඇමෙරිකන් ඩොලර් 2.6 ක් යැයි පැවැසෙයි. මේ සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය වැසියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති බව බි‍්‍රතාන්‍ය පුවත් සේවා වාර්තා කර ඇත. 12 උදෑසන දෙවැනි එලිසබත් මහ රැජිනගේ ප‍්‍රධානත්වයෙන් විවාහ මංගල උත්සවය පැවැත්වෙන අතර, ආරාධිත අමුත්තන් 850 දෙනකු සහභාගී වීමට නියමිතය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS