මුහුදු පතුලේ බිහිසුණු වික්‍රමයක්: ‘අන්ඩර් වෝටර්’



නව වසරේ එළිදකින ත්‍රාසය මෙන්ම භීතිය ද පිරි චිත්‍රපටයක් ලෙස ‘අන්ඩර් වෝටර්’ හැඳින්විය හැකිය.

චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ ගැඹුරු මූදු පතුලේ පර්යේෂණාගාරයක පර්යේෂණ කටයුතුවල නියැලෙන විද්‍යාඥයන් කණ්ඩායමක් වටාය. මුහුදු පතුලේ හටගන්නා ප්‍රබල භූමි කම්පාවක් හේතුවෙන් මොවුන් රැඳී සිටින පර්යේෂණාගාරයට හානි වෙයි.

පණ බේරා ගැනීමට නම්, පිරිස මුහුද මතුපිටට යා යුතුය. කෙසේ නමුත්, පිරිසට අභියෝගයක් වන්නේ මුහුදු පතුළේ අධික පීඩනය පමණක් නොවෙයි. භූමි කම්පාවත් සමඟ මුහුදු පතුළේ සිටින බිහිසුණු මෙන්ම මෙතෙක් දැන නොසිටි ආකාරයේ ජීවියෙක් පර්යේෂණ කණ්ඩායමේ එකිනෙකා ගොදුරු කර ගනී. ‘අන්ඩර් වෝටර්’ චිත්‍රපටයේ කතාව මෙයයි.

‘අන්ඩර් වෝටර්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන්නේ නෝරාය. නෝරාගේ චරිතයට පණ පොවන්නේ ක්‍රිස්ටින් ස්ටුවර්ට් ය. ඊට අමතරව ජෙසිකා හෙන්වික්, ටී.ජේ. මිලර්, වින්සන්ට් කැසෙල් ආදී නළු නිළියෝ චිත්‍රපටයට සම්බන්ධ වී සිටිති. ‘අන්ඩර් වෝටර්’ විලියම් ඉයුබැන්ගේ අධ්‍යක්ෂණයකි.

විලියම් ඉයුබැන් යනු හොලිවුඩයේ තරුණ අධ්‍යක්ෂවරයෙකි. ‘ලව්’, ‘සිග්නල්’ මොහුගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ සෙසු චිත්‍රපටය. බොක්ස් ඔෆිස් සිනමාපට අතරට යෑමට නොහැකි වුවත්, ‘අන්ඩර් වෝටර්’ චිත්‍රපටය අපූරු සිනමා අත්දැකීමක් ගෙන දෙනු ඇතැයි විචාරකයන්ගේ අදහසය.

මීට වසර 3 කට පෙර, රයන් රෙනෝල්ඞ්ස් රඟ පෑ ‘ලයිෆ්’ චිත්‍රපටය මතකද? ‘ලයිෆ්’ චිත්‍රපටයේ කතාව වන්නේ, අභවකාශ නැවැතුම්පොළේ සිටින ගගනගාමීන් පිරිසක්, පිටසක්වළ ජීවියයකු සමඟ සටන් වැදීමේ වික්‍රමයකි.  ‘අන්ඩර් වෝටර්’ චිත්‍රපටයේ කතාව ඊට සමානය. කෙසේ නමුත් මෙය සිදුවන්නේ මුහුදු පතුළේය.

ලුසිත ජයමාන්න


RECOMMEND POSTS