මැක්රොන්ට කොරෝනා



ප්‍රංශ ජනාධිපති ඉමානුවෙල් මැක්රෝන්ට ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පැරිස් අගනුවර ඉලීසේ ජනපති මන්දිරය නිතුක් කළ නිවේදනයක දැක්වෙයි.

42 හැවිරිදි වියෙහි පසුවන ජනාධිපතිවරයාට වයිරසය ආසාදනය වූයේ කෙසේ ද යන්න තවමත් පැහැදිලි නෙමැති බව පැවැසෙයි.

ජනපති මැක්රොන් සැමවිටම මුහුණු ආවරණ පැලඳි සමාජ දුරස්ථභාවය රැක ගනිමින් කටයුතු කළ අයෙකි. කෙසේ නමුත්, ඔහුට නිතරම ජනතාව අතරට යෑමට සිදුවන බැවින්, කොරෝනා වයිරසය ආසාදනය වීම අරුමයක් නොවන බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.

පසුගිය දින කීපයේ ජනපති මැක්රොන්, පෘතුගාල ජනාධිපති හමුවුණු අතර මේ වනවිට ඔහු ද ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව පැවැසෙයි.

දෙසැම්බර් 10 සහ 11 දෙදින පැවැති යුරෝපා කවුන්සිලයේ රාජ්‍ය නායකයන්ගේ සමුළුවට ද ප්‍රංශ ජනාධිපති මැක්රෝන් සහභාගී වුණැයි පැවැසෙයි. එම නායක සමුළුවේදී මැක්රොන් හමුවුණු සියලු දෙනා මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇති බව ද වාර්තා වේ.

රෝග ලක්ෂණ මතු වූ පළමු අවස්ථාවේදීම ජනාධිපතිවරයාට පී.සී.ආර්. පරීක්ෂණයක් කළ බවත්, එහිදී කොරෝනා ආසාදිතයකු බව තහවුරු වූ බැවින් ජනපති මැක්රොන් කඩිනමින් නිරෝධායනයට යොමු කළ බවත් වෛද්‍යවරු පවසති.

යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන මැක්රොන් නිරෝධානයනේ සිට විඩියෝ පණිවුඩ ඔස්සේ සමුළු කීපයකට ද සහභාගී විය. ජනාධිපතිවරයාගේ තත්ත්වය යහපත් බව පැවැසෙයි.

ජනාධිපතිවරයා ඉදිරි දින හතක කාලයේදී ස්වයං-නිරෝධායනයට යොමු වී සිටිනු ඇත.

ප්‍රංශ ජනාධිපතිවරයා ලබන 22 වැනිදා ලෙබනනයේ සංචාරය කිරීමට නියමිතව තිබූ අතර එම සංචාරය ද ඇතුළු සියලු සංචාර අවලංගු කර ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශිකාවක සඳහන් කළාය.

මේ අතර පසුගිය දින කිහිපයේදී ප්‍රංශ ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීම හේතුවෙන් ප්‍රංශයේ අග්‍රාමාත්‍ය ෂෝ කැස්ටෙක්ස් ද ස්වයං නිරෝධායනයට යොමු වී ඇතැයි ප්‍රංශ පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනට් සභාවේ ප්‍රධානී ජෙහාර් ලාචෙක් පැවැසීය.

(රොයිටර්)


RECOMMEND POSTS