මාස්ක් නැතිව චිලී ජනාධිපති දඩකයි



මුහුණු ආවරණ අනිවාර්ය කර තිබියදී, මුහුණු ආවරණයක් නොමැතිව මුහුදු වෙරළකදී සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටි, චිලී රටේ ජනාධිපති සෙබෙස්තියෙන් පිනේරාට දඩ නියම වී ඇතැයි එරට පුවත් සේවා වාර්තා කර තිබේ.

චිලී ජනාධිපතිවරයාට නියම වූ දඩ මුදල ඇමෙරිකන් ඩොලර් 3,500 ක් යැයි ද පැවැසෙයි. ජනාධිපතිවරයා මෙම සෙල්ෆි ඡායාරූපයට පෙනී සිට ඇත්තේ මුහුදු වෙරළේ දී හමුවුණු තරුණියක සමඟය. ඡායාරූපය ප්‍රසිද්ධියට පත් වූයේ ඇය එය සමාජ මාධ්‍යවලට එක් කිරීහෙන් පසුවය.

ඡායාරූපය මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වුණු අතර, ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලීමක් කළේය. සෞඛ්‍ය උපදෙස් නොතකමින් තමන් මුහුණු ආවරණයක් නොපැළඳ සිටීම වරදක් බව ද පැවැසුවේය.

චිලී යනු ලතින් ඇමෙරිකානු කලාපයට අයත් රටකි. චිලී රටෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 5,83,354 කි. වාර්තා වන මරණ ගණන 16,101 ක් බව පැවැසෙයි.

සැන්ටියේගෝ නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS