මාස්ක් එපා කී ට්‍රම්ප් මාස්ක් පලඳින්න කියයි



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හමුවේ මුහුණු ආවරණ පැලැඳීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, කියා සිටියේ වයිරසයෙන් බේරීමට සෞඛ්‍ය උපදෙස් අනුව, මුහුණු ආවරණ පැලැඳීම යෝග්‍ය බවය.

ඇමෙරිකන් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, ෆොක්ස් නාළිකාව සමඟ අදහස් දක්වමිණි. මුහුණු ආවරණ පැලදීම යෝග්‍ය යැයි තමන් සිතන නමුත්, මුහුණු ආවරණ පලඳින්නැයි බල කරමින් නීති ක්‍රියාත්මක නොකරන බව ද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එම අවස්ථාවේදී පැහැදිලි කළේය. මුහුණු ආවරණ සම්බන්ධයෙන් තමන් දැරූ අදහස වෙනස් කිරීමට ජනපති ට්‍රම්ප්ට සිදුවූයේ ඔහුගේ රිපබ්ලිකන් පක්ෂයෙන් ඔහුට විරෝධයක් එල්ල වෙද්දීය.

ජනපති ට්‍රම්ප් කියා සිටියේ තමන් ‘මාස්ක්’ පැලැඳීමට කැමැති බවත්, මාස්ක් පැලඳින විට තමන් ‘ලෝන් රේජන්ර්’ වැනි බවත්ය. ‘ලෝන් රේන්ජර්’ යනු 60,70 සහ 80 දශකයේ ජනප්‍රිය ප්‍රබන්ධ ‘ගොපළු’ (කවුබෝයි) වීර චරිතයකි. ලෝන් රේන්ජර් පලඳින්නේ ‘මුඛ ආවරණයක් නොව, ඇස් පමණක් ආවරණය වන ආකාරයේ කළු ‘මාස්ක්’ එකකි. ලෝන් රේන්ජර්’ චරිතය පාදක කොටගත් කාටූන්, චිත්‍රකතා, ටෙලි කතා සහ චිත්‍රපට පවා නිර්මාණය වී ඇත. ජනපති ට්‍රම්ප්ගේ කුඩා කළ වීර චරිතයක් වී ඇත්තේ ‘ලෝන් රේන්ජර්’ ය.

අද වනවිට ‘කොවිඞ් 19’ වයිරස වසංගතයෙන් දරුණු ලෙස බැට කන්නේ ඇමෙරිකාවය. ඇමෙරිකානු වසංගත රෝග පාලන ඒකකය (සී.ඩී.සී.) පමණක් නොව, ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන්, වෛද්‍යවරුන් ආදී සැවොම පසුගිය අප්‍රේල් මාසයේ ඇමෙරිකානුවන්ට අනතුරු ඇඟවූයේ වයිරස ව්‍යාප්තිය පාලනයට හැමෝම මුහුණු ආවරණ පැලැඳිය යුතු බවය.

‘සෞඛ්‍ය බලධාරීන් කීවාට මා එහෙම කරන්නේ නැහැ. මා කොහොමද මුහුණ වහගෙන ජනාධිපතිවරුන්, දේශපාලනඥයන්, රාජකීයයන් හමුවන්නේ. මට බැහැ මුහුණු ආවරණ පලඳින්න. ඒක මගේ පෞද්ගලික තීරණයක්.’ යැයි එම අවස්ථාවේදී ජනපති ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැවැසුවේය.

මෙම නොවැම්බරයේ ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙයි. මැතිවරණ රැලි මේ වනවිට ආරම්භ වී ඇති නමුත්, ට්‍රම්ප් එම රැලි වලට සහභාගී වන්නේ මුහුණු ආවරණ නොමැතිවය. මෙය ඇමෙරිකානුවන් බොහෝ දෙනාගේ අප්‍රසාදයට හේතුවක් වී ඇත.

ජනපති ට්‍රම්ප් මුහුණු ආවරණ පැලැඳීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ, බිරිඳ මෙලානියා ට්විටර් පණිවුඩයක් ද නිකුත් කරමින්, කියා සිටියේ තමන් මුහුණු ආවරණ පලඳින බවත්, තමන් එසේ කරන්නේ ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් ලබා දෙන උපදෙස් පිළිපඳිමින් බවත්ය. ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ දියණියක මෙන්ම උපදේශිකාවක ලෙස ද කටයුතු කරන ඉවන්කා ට්‍රම්ප් ද මුහුණු ආවරණය පලඳින බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

එලැබෙන නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වන්නේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන්ය. බයිඩන් පවසා ඇත්තේ තමන් ජනපතිවරණය වෙනුවෙන් කිසිදු මැතිවරණ රැලියක් පවත්වන්නේ නැති බවය. බයිඩන් ප්‍රමුඛ ඩිමොක්‍රටික් පක්ෂය එම තීරණය ගත්තේ ‘කොවිඞ් 19’ වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්ය. ‘වයිරසය ව්‍යාප්තිය වැඩියි. ජනතාව අමාරුවේ දමන්න බැහැ. සෞඛ්‍ය නීති පිළිපඳිමින්, මැතිවරණ රැලි නොපැවැත්වීමට තීරණය කළා’ යැයි බයිඩන් පැවැසුවේ පසුගිය 30 වැනිදාය.

‘කොවිඞ් 19’ වයිරසය ඇමෙරිකාවේ ව්‍යාප්තවීමට පටන් ගත් අවස්ථාවේ පටන් ට්‍රම්ප් ඒ ගැන වැඩි තැකීමක් කළේ නැත. සෞඛ්‍ය බලධාරීන් පමණක් නොව, ඇමෙරිකන් බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රධානී විශේෂ වෛද්‍ය ඇන්තනි ෆවුචි පවා ජනපති ට්‍රම්ප්ට පෙන්වා දුන්නේ වයිරස ව්‍යාප්තිය කඩිනමින් පාලනය කර ගත යුතු බවය. ජනපති ට්‍රම්ප් පෙන්වා දුන්නේ ‘කොවිඞ් 19’ වයිරසය නිකම්ම නිකම් හෙම්බිරිස්සා තත්ත්වයක් බවත්, උණුසුම වැඩිවෙද්දී එය අඩපණ වනු ඇති බවත්ය. කෙසේ නමුත් ට්‍රම්ප් අනුමාන කළ ආකාරයට වයිරස පාලනයක් සිදු නොවිණි. ඇමෙරිකාවේ වයිරස ව්‍යාප්තිය ඉහවහා ගියේ ට්‍රම්ප් පරිපාලනයේ දුර්වලතා නිසා යැයි ඒ අනුව දිගින් දිගටම චෝදනා එල්ල වන්න විය.

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනමත සමීක්ෂණ පැවැත්වෙන අතර, ඒවායින් පෙනී යන්නේ ජනතා අප්‍රසාදයට ලක් වී සිටින ට්‍රම්ප්, බයිඩන්ට පසුපසින් සිටින බවය. මේ අතර, රිපබ්ලිකන් ජනපතිවරයකු වන ජෝර්ජ් බුෂ් ද සිය සහාය ඩිමොක්‍රටික් අපේක්ෂක බයිඩන්ට ලබා දෙන බවට කළ ප්‍රකාශය ඇමෙරිකන් දේශපාලනය උඩුයටිකුරු කිරීමට හේතුවක් වී තිබේ.

ගතවුණු පැය 24 ඇතුළත ඇමෙරිකාවෙන් වාර්තා වුණු ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 52,000 පසු කළේය. මේ වනවිට ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත වයිරස ආසාදිතයන් ගණන මිලියන 2.7 කි. මරණ 1,28,000 ඉක්මවා ගොසිණි. ඇමෙරිකාවේ ප්‍රාන්ත 14 ක ආාසදිතයන් ගණන දෙගුණයකින් ඉහළ ගොස් තිබුණු බවත් වාර්තා විය. වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් ඉදිරියේ දී දිනකට ‘කොවිඞ් 19’ ආසාදිතයන් ලක්ෂයක් හමුවනු ඇතැයි වෛද්‍ය ඇන්තනි ෆවුචි අනතුරු ඇඟවීමක් කර තිබේ.

සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇති නමුත් ඇමෙරිකා ජනපති ට්‍රම්ප් හෝ උප ජනාධිපති මයික් පෙන්ස් හෝ මුහුණු ආවරණ පලඳින්නේ නැත. ජෝ බයිඩන් පවසා ඇත්තේ තමන් ජනාධිපති ධුරයට පත්වුවහොත්, අවසන් ‘කොවිඞ් 19’ ආසාදිතයා සුවය ලබනතුරු ජනතාවට මුහුණු ආවරණ පැලැඳීම අනිවාර්ය කරන බවය.

‘කොවිඞ් 19’ වයිරස වසංගතය හේතුවෙන් ජෝ බයිඩන් ජන රැලි පැවැත්වීම නතර කිරීමට ගත් තීරණය ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ගේ උපහාසයට ලක් වී ඇතැයි ද පැවැසෙයි. ‘ජෝ බයිඩන් සැඟවීමට උත්සාහ ගන්නා බවත්, ඔහු දැනටමත් ජනාධිපතිවරණය පරාජය වී ඇති බවත් ට්‍රම්ප් පවසා තිබේ.

නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන්, ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන එක් වී, සිදු කළ ජනමත සමීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ, ට්‍රම්ප් අභිබවා යමින් ජෝ බයිඩන් බොහෝ සේ ඉදිරියෙන් සිටින බවය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS