බොලිවුඞ් රැම්බෝ



හොලිවුඞ් සුපිරි ක්‍රියාදාම නළු සිල්වෙස්ටර් ස්ටැලෝන්ගේ ‘රැම්බෝ’ චරිතය සඳා අමරණීය ය. 80 දශනයේත්, 90 දශකයේත් තිරගත වුණු රැම්බෝ චිත්‍රපට ලොකු කුඩා කා අතරේත් තවමත් අතිශයින් ජනප්‍රියය. ෆර්ස් බ්ලඞ් චිත්‍රපටයෙන් ඇරැඹුණු රැම්බෝ චිත්‍රපට 4 ක් මේ වනවිට සාර්ථකව තිරගත වී ඇත.

රැම්බෝ චරිතය ප්‍රතිනිර්මාණය කිරීමට දැන් බොලිවුඩය සූදානම් වෙයි. හින්දි බසින් නිර්මාණය වන මෙම ක්‍රියාදාම චිත්‍රපටයේ රැම්බෝගේ චරිතය නිරූපණය කරන්නේ ටයිගර් ෂෙරොෆ්ය. චිත්‍රපටය සිද්ධාර්ත් ආනන්ද්ගේ අධ්‍යක්ෂණයකි. චිත්‍රපටයේ පළමු පෝස්ටරය මේවනවිට එළිදක්වා ඇත. චිත්‍රපටය 2018 දී තිරගත වීමට නියමිත බව ද පැවැසෙයි.

නූතන බොලිවුඞ් සිනමාවේ ක්‍රියාදාම නළුවකු වන ටයිගර් ෂෙරොෆ් පවසන්නේ තමා කුඩා කළ ස්ටැලෝන්ගේ රැම්බෝ චිත්‍රපටවලට අතිශයින් ප්‍රිය කළ බවත්, රැම්බෝ චරිතයට පණ පොවන්න ලැබීම තමන්ට ලොකු ගෞරවයක් බවත්ය.

මේ ගැන බොහෝ දෙනා විවිධ අදහස් පළ කර ඇතැයි ද වාර්තා වේ. හොලිවුඞ් ක්‍රියාදාම චිත්‍රපටයක් වන ‘රැම්බෝ’ හින්දි ගීත ද සමඟ බොලිවුඞ්කරණය වීම ‘විහිළුවක්’ යැයි ඇතැම්හු පවසති.

සදා අමරණීය ‘රැම්බෝ’ චිත්‍රපට මාලාව බොලිවුඞ්කරණය වුවහොත් එය විකෘති වනු ඇති බවත්, ටයිගර් ෂැරොෆ් කිසිසේත්ම සිල්වෙස්ටර් ස්ටැලෝන්ට සම කළ නොහැකි බවත් ඇතැම්හු පෙන්වා දෙති.

(එන්.ඩී.ටීවී.)

 

 


RECOMMEND POSTS