බල්ලා බේරාගන්න විලට පැනලා



බ්‍රසීල ජනපති මයිකල් ටේ‍රමර්ගේ බිරිඳ ජනපති ආර්යා මාර්සෙලා ටෙමර් විලක ගිලෙමින් සිටි බල්ලකු බේරා ගත් බව විදෙස් පුවත් සේවා ඊයේ (7) වාර්තා කළේය.

මෙය සිදුවී ඇත්තේ පසුගිය අප්‍රේල් 22 වැනිදාය. කෙසේ නමුත් බ්‍රසීල පුවත් සේවා මේ බව දැනගෙන ඇත්තේ ඊයේය. අප්‍රේල් 22 වැනිදා ජනපති ආර්යාව මාර්සෙලා ටෙමර් ඇගේ පුතා මිචෙල්සින්හෝ සමඟ ජනපති මන්දිරයේ ගෙවත්තේ සක්මන් කරමින් සිට ඇත.

ගෙවත්තට ඔබ්බෙන් පිහිටි විලට වැටී ඇත්තේ ජාක් රසල් වර්ගයේ ප්‍රමාණයෙන් කුඩා බල්ලකි. බල්ලා විල අසල ගැවෙසන අයුරු මාර්සෙලා දැක ඇත. ඌ විලට වැටී පිහිනීමට නොහැකිව ගිලෙද්දී, ආර්යාව ඒ බව ජනපති ආරක්ෂක අංශ නිලධාරියකුට දන්වා ඇති නමුත් ඔහු කිසිදු තැකීමක් කර නැත. එහෙයින්, ජනපති ආර්යාව වහා දිවගොස්, ඇඳ සිටි ඇඳුම් පිටින්ම විලට පැන පිහිනා බල්ලා බේරාගෙන ඇත.

හිමිකරුවකු නොසිටි එම බල්ලා මේ වනවිට ජනපති මන්දිරයේ සාමාජිකයකු බවට පත් වී ඇත. ජනපති ආර්යාව ඌ ‘පිකොලි’ නමින් නම් කර ඇත. ‘පිකොලි’ ජනපති මන්දිරයට එක් වුණු දෙවැනි බලු සුරතලාය. ‘තෝර්’ නමින් බලු සුරතලෙක් ද ජනපති මන්දිරයේ සිටී. තෝර් ගෝඞ්ලඞ් රෙට්රිවර් වර්ගයේ බල්ලෙකි. තෝර් සහ පිකොලි හොඳ මිතුරන් යැයි ද බ්‍රසීල මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

බල්ලා විලට වැටුණු දැක ඌ බේරා ගැනීම ප්‍රතික්ෂේප කළ ජනපති ආරක්ෂක අංශ නිලධාරියා සේවයෙන් නෙරපා දමා ඇතැයි ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS