බච්චන් පවුලේ හතරකට කොරෝනා



බොලිවුඩයේ සුපිරි නළු අමිතාබ් බච්චන් ඇතුළු එම පවුලේ සිවුදෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර අැත.

ඒ අනුව සුපිරි නළු අමිතාබ් බච්චන්, ඔහුගේ පුත් අභිෂේක් බච්චන් සහ අභිෂේක් බච්චන්ගේ බිරිඳ වන අයිෂ්වරයා රායි බච්චන් සහ ඔවුන්ගේ දියණිය වන ආරාධ්‍යාට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.

අයිෂ්වරයා රායි බච්චන් සහ ආරාධ්‍යා යන දෙදෙනාම ‘කොවිඩ්-19’ රෝග ලක්ෂණ පෙන්නුම් කර නැතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්ත කර තිබිණි.

අමිතාබ් බච්චන්ගේ බිරිඳ වන ඡායා බච්චන්ට වයිරසය ආසාදනය වී නැතැයි ද ‘කොවිඩ්-19’ පරීක්ෂණයෙන් තහවුරු වී ඇත.

තමන් නව කොරෝනා වයිරස ආසාදිතයකු බවත් රෝහල් ගත කළ බවත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමිතාබ් බච්චන් ද සඳහන් කර තිබිණි. අමිතාබ් බච්චන් සහ අභිෂේක් බච්චන් මේ වනවිට මුම්බායි නුවර නනාවති රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

අම්තාබ් බච්චන්ගේ තත්ත්වය යහපත් යැයි ද ඔහු නිරෝධායන ඒකකයට යොමු කර ඇතැයි එම රෝහල නිවේදනයක් නිකුත් කරමින් අද සඳහන් කළේය.

අමිතාබ් බච්චන්ට සහ අභිෂේක් බච්චන්ට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත්තේ ඊයේ (11) පස්වරුවේදී ය.

අමිතාබ් බච්චන් 77 හැවිරිදි වියේ පසුවන අතර පුතු අභිෂේක් 44 වැනි වියේ පසුවෙයි.

ඉන්දීය සිනමාව හෙවත් හොලිවුඩ් සිනමාවේ සුපක්‍රට චරිතයක් වන අමිතාබ් බච්චන් ‘බිග් බී’ යනුවෙන් හැඳින්වෙයි. හෙතෙම දශක පහක් මුළුල්ලේ සිනමා නිර්මාණ 200කට වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායක වී ඇති අතර රසික හදවත් මෙන්ම විචාරකයන්ගේ පැසැසුමට ද ලක්වෘ කෘතහස්ත රංගධරයෙකි.

අභිෂේක් බච්චන් ද තමන්ට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.

පසුගිය දින 10 ඇතුළත තමන් ළඟින් ඇසුරු කළ පුද්ගලයන් සිටින්නේ නම් කොරෝනා පරීක්ෂණවලට යොමු වන්නැයි පිය පුතු දෙදෙනා ට්විටර් පණිවුඩ හරහා ඉල්ලීමක් ද කර තිබිණි.

මේ අතර ආරක්ෂකයන්, නිවසේ සේවික සේවිකාවන් ඇතුළු බච්චන් පවුලේ 16 දෙනකු ‘කොවිඩ්-19’ පරීක්ෂණවලට යොමු කර ඇතැයි ද ඔවුන්ගේ ප්‍රතිඵල අද (13) දිනයේදී ලැබෙනු ඇතැයි ද මුම්බායි නුවර සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කළහ.

බච්චන් පවුල රැඳී සිටි නිවසද මේ වනවිට විෂබීජහරණයට ලක් කර ඇති අතර නිවසට යන මාර්ගය ද අවහිර කර ඇත. කිසිවකුටත් නිවසින් පිටතට පැමිණීමට හෝ ඇතුළුවීමට ඉඩ නොදෙන බවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පමණක් නිවස තුළට ගෙන යෑමට අවසර දෙන බවත් එම මුම්බායි බලධාරීහු කීහ.

ඉන්දීය මාධ්‍ය ඇසුරිනි


RECOMMEND POSTS