පොඞ්ඩිගේ ලිපියට ට්‍රම්ප්ගෙන් පිළිතුරක්



ඇමෙරිකාවේ දකුණු කැරොලිනා ජනපදයේ ටවුන්ස්විල් නගරයේ මේරි ඕල්සන් මහත්මියගේ නිවසට පසුගිය නත්තගල් දිනට පසුදා  දිගු ලියුම් කවරයක බහාලූ ලිපියක් ලැබුණි. ලිපියේ සඳහන් වී තිබුණේ ‘ඒවා ඕල්සන් වෙත’ කියාය. ඒවා රෝස් ඕල්සන් යනු මේරිගේ බාල දියණියයි. ලියුම් කවරයේ ඉහළ කෙළවරේ තිබුණු වදන දැකීමෙන් මේරි තිගැස්සිණි. ‘ධවල මන්දිරයෙන්’ යැයි ලියුම් කවරයේ සඳහන් කර තිබුණි.

ඒවා රෝස් ඕල්සන් පාසල් ගමන ඇරැඹුවේ 2016 වසරේදීය. ඇය උද්f්‍යා්ගයෙන් පිරි, ක්‍රියාකාරී දැරියක වූවාය. ඇය බොහොම ආසාවෙන් පාසල් යන්න පටන් ගෙන තිබුණි. ඇය ඉගෙනීමට දක්ෂ දැරියක යැයි ඇගේ ගුරුවරිය නිතර කියන්න වූවාය. ඒත් ඒ සියල්ල වෙනස් විය. පසුගිය සැප්තැම්බරයේ ඇය අමිහිරි අත්දැකීමකට මුහුණ දුන්නාය. එම අත්දැකීම ඇයට කම්පනයක් විය. අද ඇය නිවසින් පිටතට අඩියක් තබන්නේ නැත. පාසල් යන්නේ ද නැත. ඇය සිහිනෙන් බය වී කෑ මොර දෙන්නීය. දවසේ වැඩි කාලයක් ඇය ගත කරන්නේ ඇඳට වී ගුලිවෙමිනි. අද වනවිට අට හැවිරිදි වියෙහි පසුවන ඒවාට උගන්වන්නේ ඇගේ මව මේරිය. මේරි ඒ වෙනුවෙන් කැපැවී සිටී.

ලිපිය අතට ගත් මේරි, එය පරීක්ෂා කර බැලුවාය. ධවල මන්දිරයෙන් මගේ දියණියට කවුරුද ලියුම් එවන්නේ යැයි සිතමින් ලිපිය කඩා බැලුවාය. දියණියට ලිපිය ඒවා තිබුණේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ය. තම දියණිය මීට මාස කිහිපයකට පෙර ඇමෙරිකන් ජනපතිවරයාට ලිපියක් යැවූ බවත්, එම ලිපිය තැපෑලට දැම්මේ තමන් බවත් එවිට ඇයට මතක් විය. එහෙත්, එම ලිපියට ජනපතිවරයා පිළිතුරක් එවාවි ඇය කිසිසේත් අපේක්ෂා නොකළාය. මේරි කාමරයේ ඇඳට වී ගුලි වී සිටි ඒවා ට කතා කළාය. දෙදෙනා එක් වී, සැටියේ වාඩි වූ අතර ලියුම අතට ගත් මේරි, එය ඇගේ දියණියට කියවන්න වූවාය. එහි මෙසේ සඳහන් විය. ‘ආදර ඒවා වෙත. ඔයාගේ ලිපිය මට ලැබුණා. ඒ ගැන ස්තුතියි. ඔයාගේ කතාව මට කියන්න තරම් ඔයා නිර්භීත වුණා. ඒ ගැන ආඩම්බරයි. ජනපති ආර්යාව මෙලානියයි මමයි ඔයාගේ කතාව අහලා කම්පනයට පත්වුණා. ඔයාට සිදුවුණු දේ ගැන කනගාටුයි. ඔයාගේ හොඳම යාළුවා ජේකොබ් ගැන මට කනගාටුයි. මීට ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්.’ ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගිය දෙසැම්බරයේ එවූ මෙම ලිපිය පසුගිය 4 වැනිදා ඇමෙරිකන් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් විය. ඒ ගැන ලොව කවුරුත් දැනගත්තේ ඒ අනුවය.

ඒවාගේ අමිහිරි මෙන්ම බිහිසුණු අත්දැකීමට මුහුණ දුන්නේ මීට මාස 15 කට පෙරය. පසුගිය වසරේ සැප්තැම්බරයේ, දකුණු කැරොලිනාවේ, ටවුන්ස්විල් නගරයේ ටවුන්ස්විල් ප්‍රාථමික පාසලේ වෙඩි තැබීමක් සිදුවිය. ටවුන්ස්විල් ප්‍රාථමික පාසල ඒවාගේ පාසලය. වෙඩි තැබීම කළේ 14 හැවිරිදි ජෙෆ් ඔස්බෝර්න් නමැති ගැටවරයෙකි. එම ගැටවරයා පික්අප් ට්‍රක් රියකින් පාසලේ ක්‍රීඩාංගනයට කඩා වැදී එම වෙඩි තැබීම සිදු කළේය. (වෙඩි තැබීම කළ ගැටවරයා සම්බන්ධයෙන් නඩු විභාගය තවමත් සිදුවෙයි. 14 හැවිරිදි වියෙහි පසුවත් මෙම ගැටවරයා බාලවයස්කාරයකු සේ සලකන්නේ නැතිව අධිකරණය තීන්දුවක් ලබා දෙනු ඇතැයි ටවුන්සිවිල් වැසියන්ගේ විශ්වාසය වී තිබේ.) වෙඩි තැබීම සිදුවෙද්දී, ඒවා සිටියේ ඇගේ හොඳම මෙන්ම එකම මිතුරා ද සමඟය. ඒවාගේ ගුරුතුමිය ද ඔවුන් අසල සිටියාය.

උමතු ගැටවරයා තත්පර 12 ක් වෙඩි තැබුවේය. පිස්තෝලය හදිසියේ සිරවිය. එසේ නොවුණා මහා ලේ වැගිරීමක් සිදුවීමට ඉඩ තිබුණි. ආරක්ෂක නිලධාරීන් කඩා පැන ගැටවරයා මෙල්ල කර ගත්තේ එම අවස්ථාවේදීය. වෙඩි තැබීමේදී එක් උණ්ඩයක් ඒවාගේ පළමු වසරේ ගුරුතුමියගේ උරහිසට වැදිණි. තවත් උණ්ඩයක් ඒවාගේ පංතියේ දරුවකුගේ කකුළට වැදිණි.

තෙවැනි උණ්ඩය ඒවාගේ හොඳම මිතුරාගේ සිරුර පසාරු කළේය. ඒවාගේ පාසලේත් පංතියේත් සිටි අහිංසක මෙන්ම උසින් අඩුම පොඞ්ඩා ඔහු විය. ඔහුගේ නම ජේකොබ් හෝල්ය. පාසල් ක්‍රීඩාංගනයේ වෙඩි ප්‍රහාරයට ලක්වුණු ජෝකොබ් දිනකට පසු පසුගිය වසරේ සැප්තැම්බර් 28 වැනිදා මියගියේය. ඒවා රෝස් ඕල්සන්ගේ ජීවිතය උඩුයටිකුරු කළේ මෙම සිදුවීමය. ඒවා තවමත් බියෙන් තැති ගන්නේ එම සිදුවීම මතක් වෙද්දීය.

වෙඩි තැබීමෙන් ලත් කම්පනයත් සමඟ ඒවා ඇමෙරිකන් ජනපතිට ලිපියක් යැවුවාය. එය ඇයෙ ඇගේ අත්අකුරින් ලියුවාය. ඒ, පසුගිය අගෝස්තුවේදීය. ‘ආදර ජනපතිතුමනි’ යනුවෙන් ඇය ඇගේ අමිහිර අත්දැකීම ජනපති ට්‍රම්ප්ට ලියුවාය. ඇය ඇගේ ලිපියෙහි මෙසේ සඳහන් කළාය. ‘මට ඒක අහන්නත් දකින්නත් ලැබුණා. මම හරිම බය වුණා. මගේ හොඳම යාළුවා ජේකොබ්ට වෙඩි වැදුණා එයා මැරුණා. මගේ ජීවිතේ වෙනස් වුණා. කරුණාකරලා, තුවක්කුවලින් පුංචි දරු දැරියන්ට අනතුරක් වෙන්න දෙන්න එපා’ යැයි ඇයගේ ලිපියෙහි සඳහන් විය. තමන් එම ලිපිය තැපෑලට දැම්මත්, එහි තිබුණේ කුමක්දැයි ඒවාගේ මව මේරි දැන සිටියේ නැතැයි ඇය මාධ්‍ය හමුවේ පවසා ඇත.

රොයිටර් ඇසුරිනි

 


RECOMMEND POSTS