පුතා එක්ක අයිස් ක්‍රීම් කන්න ගිහිල්ලා



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස තර්ජන හේතුවෙන් පැනැවූ තහංචි අදියරෙන් අදියර ලිහිල් කිරීමත් සමඟ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ, සිය හය හැවිරිදි බාල පුතු සමඟ අයිස් ක්‍රීම් අලෙවි සැලකට ගියේය.

තහංචි ලිහිල් කිරීමෙන් පසු කැනඩා අගමැති පුතු 6 හැවිරිදි හාඩියන් නිවසින් පිටතට ආ පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. අගමැතිවරයා සහ පුත්‍රයා අයිස් ක්‍රීම් සඳහා ගියේ, ක්විබෙක් ප්‍රාන්තයේ ගැටිනෝ නමැති සුප්‍රකට අයිස් ක්‍රීම් අලෙවි සැලටය.

මුහුණු ආවරණ පැලඳ සෞඛ්‍ය උපදෙස්වලට ගරු කරමින් දෙදෙනා  චොකලට් රසැති අයිස් ක්‍රීම් මිලදී ගත් බව කැනඩා මාධ්‍ය වාර්තා සඳහන් කරයි. කැනඩා අගමැතිවරයාට පුත්තු දෙදෙනෙක් සහ දියණියක් සිටිති.

කැනඩාවේ සියලු ප්‍රාන්තවලට මෙන්ම කැනඩාවට අයත් පාලන ප්‍රදේශවලට වයිරස වසංගතය හේතුවෙන් තහංචි පැනැවූයේ පසුගිය මාර්තු මුලදීය. පාසල් සියල්ල වසා දැමුණු අතර අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාරික ස්ථාන ද වසා දැමුණි.

කැනඩාවෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 102,242 කි. මරණ වාර්තා වන්නේ 8,484 ක් ලෙසිනි. කැනඩාවෙන් පළමුවෙන් ‘කොවිඞ් 19’ ආසාදිතයන් වාර්තා වෙද්දී, බ්‍රීතාන්‍ය සංචාරයකට ගොස් ආපසු කැනඩා ආ අගමැති ජස්ටින් ටෘඩෝගේ බිරිඳ සෝෆි ද ආසාදිතයකු බව හඳුනා ගැණින. සෝෆි පමණක් නොව, අගමැති ටෘඩෝ ද එම අවස්ථාවේදී නිරෝධායනයට ලක් කෙරුණි. කෙසේ නමුත් සෝෆි ටෘඩෝගේ තත්ත්වය බරපතල නොවිණි. ඇය දින කීපයකින් සම්පූර්ණ සුවය ලැබුවාය.

ඔටෝවාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS