පාද තුනේ දැරියට සැත්කමක්



පාද තුනක් සහිතව බංග්ලාදේශයේ උපත ලැබූ දැරියක් ඕස්ට්‍රේලියාවේ දී සිදු කරනු ලැබූ සාර්ථක සැත්කමකින් අනතුරුව යළිත් සිය මව්බිම කරා පැමිණීමට සැරසෙමින් සිටියි.

මවු කුස තුලදී නිසි ලෙස නොවැඩුණු නිවුන් දරුවකුගේ පාදයක් උකුල ප්‍රදේශයට බද්ධ වීමෙන් හටගත් අසාමාන්‍ය වර්ධනයක් සමග චෝයිති කාතුන් උපත ලැබුවාය.

ඇයගේ උකුල් ප්‍රදේශයට බද්ධව පිහිටි අතිරේක පාදය ඉවත් කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ශල්‍ය වෛද්‍යවරු මාස ගණනාවක් සැලසුම් සකස් කළහ.

තුන් හැවිරිදි චෝයිති කාතුන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිය මව සමග බංග්ලාදේශයේ කුඩා ගමක සිට ඕස්ට්‍රේලියාවට පැමිණීම සඳහා 'චිල්ඩ්රන් ෆර්ස්ට්' පුණ්‍යායතනය මූල්‍යාධාර සැපයීය.

චෝයිති සැත්කමට භාජනය කළ ශල්‍ය වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී වෛද්‍ය ක්‍රිස් කිම්බර් කියා සිටියේ උකුල් ප්‍රදේශයට බද්ධව එලෙස අතිරේක පාදයක් වර්ධනය වීම ඉතාමත් දුර්ලභ තත්වයක් වන අතරම එය සැත්කමකින් ඉවත් කිරීම විශාල අභියෝගයක් වූ බවය.

බංග්ලාදේශයේ ශල්‍ය වෛද්‍යවරු චෝයිතිගේ අතිරේක පාදයේ කොටසක් සැත්කමකින් ඉවත් කිරීමට සමත් වී තිබුන ද ඇයගේ පාද දෙක අතර අතිරේක පාදයේ කොටස් සහ අතිරේක අවයව එලෙසම ඉතිරිව තිබුණ බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

මව් කුස තුළ දී නිසි ලෙස නොවැඩුණු නිවුන් සොහොයුරියකගේ ශරීර කොටස් ඇයගේ සිරුරට බද්ධ වී තුබුණු බැවින් අතිරේක පාදයට අමතරව ඇය ගුද මාර්ග දෙකක් සහ යෝනි මාර්ග දෙකක් සහිතව උපත ලැබ තිබුණි.

සාර්ථක සැත්කමකින් අතිරේක පාදයේ ඉතිරිව තිබු කොටස් ඉවත් කිරීමටත් ඇයගේ අවයව සාමාන්‍ය අයුරින් සැකසීමට කටයුතු ආරම්භ කිරීමටත් වෛද්‍යවරුන්ට හැකි විය.

මේ වන විට සම්පූර්ණ සුවය ලබා සිටින චෝයිති දැන් දුව පැන සෙල්ලම් කරන අතර නැවතත් මව සමග බංග්ලාදේශයේ සිය ගමට යාමට සුදානමින් සිටියි.

තිළිණි ද සිල්වා
බී.බී.සී. ඇසුරිනි


RECOMMEND POSTS