ප්‍රියංකාට මංගල සීනු



හොලිවුඩය ද ජයගත් බොලිවුඞ් සුරූපිනිය ප්‍රියංකා චොප්රා සහ ඇගේ ඇමෙරිකන් ගායක පෙම්වතා නික් ජෝනාස් විවාහ ගිවිස ගැනීම අද (18) උදෑසන සිදුවිය.

විවාහ ගිවිස ගැනීම නිමිත්තෙන් නික් ජෝනාස් ගේ මාපියන් ඇතුළු සමීපතම ඥාතීන් බොහෝ දෙනෙක් ඉන්දියාවට පැමිණ සිටියහ. හින්දු සම්ප්‍රදායට අනුව, චාරිත්‍රාණුකූලව විවාහ ගිවිස ගැනීම සිදුවිය.

36 හැවිරිදි ප්‍රියංකා චොප්රාගේ අත ගත් ජෝනාස් 25 හැවිරිදිය. නික් ජෝනාස් ඇමෙරිකානු ගායකයෙකි. ගීත රචකයෙකි. නළුවෙකි. අතිශය ජනප්‍රිය ජූමන්ජි වෙල්කම් ටු ද ජංගල් චිත්‍රපටයේ හෙලිකොප්ටර් නියමුවාගේ චරිතයට පණ පොවන්නේ නික් ජෝනාස්ය. බොලිවුඞ් සිනමාවේ නමක් දිනා සිටින ප්‍රියංකා ඇමෙරිකා රූපවාහිනී ටෙලි කතා මාලාවක් වන ‘කොන්ටිකෝ’ හි ප්‍රධාන චරිතයක් නිරූපණය කළාය. ඇය ‘බේ වොච්’ හොලිවුඞ් චිත්‍රපටයේ දුෂ්ඨයාගේ චරිතයට පණ පෙව්වාය.

ප්‍රියංකා සහ නික් ඔවුන්ගේ සමීපතම හිතවතුන් වෙනුවෙන් විශේෂ සාදයක් පැවැත්වුණු ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. ප්‍රියංකාගේ ඥාති සොයුරිය මෙන්ම තවත් ජනප්‍රිය බොලිවුඞ් නිළියක වන පර්නීති චොප්රා, නළු රන්වීර් සිං, අධ්‍යක්ෂ කරන් ජොහාර්, ප්‍රවීණ නිළි රවීනා තන්ඩන් ආදී බොලිවුඩයේ සුපිරි තරු රැසක් ඊට සහභාගී වූහ.

(ඉන්දීය පුවත් සේවා)


RECOMMEND POSTS