ප්‍රිය සාදයට එක්වුණු අපේ කෙනා



ජනප්‍රිය බොලිවුඞ් නිළි අනුෂ්කා ෂර්මා සහ ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝල ඔවුන්ගේ විවාහය නිමිත්තෙන් සංවිධානය කර තිබූ දෙවැනි ප්‍රිය සාදයට විශේෂ ආරාධිත අමුත්තකුට ආරාධනා කර තිබිණි.

බොලිවුඞ් නළු නිළියන්, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් ආදී තරු රැසක් සහභාගී වූ මෙම උත්සවයට ආරාධනා ලැබූ එම විශේෂිත පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකි. ශ්‍රී ලංකා කණ්ඩායමට ජය පතමින් ලොව පුරා පැවැත්වෙන ක්‍රිකට් තරගවලට සහභාගී වන ඔහු නමින් ගයාන් සේනානායකය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජය පැතූ පර්සි අබේසේකරගෙන් පසු බොහෝ දෙනාගේ අවධානයටත් ආදරයටත් පත්වූ ජය ඝෝෂා නගන්නා බවට පත්වූයේ ගයාන්ය. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන සෑම තරගයකදීම ප්‍රේක්ෂකාගාරයේ දක්නට ලැබුණු අතර ජයග්‍රහණයේදීත් පරාජයේදීත් පිටියේ ක්‍රිකට් කණ්ඩායමට ජය පතමින් කණ්ඩායම සමඟ විය.  

ගයාන් සේනානායකට ප්‍රියසාදයට ආරාධනා කිරීම නිසා විරාත් කෝලිට ද බොහෝ පිරිසකගේ ප්‍රශංසාවට සහ ආදරයට පාත්‍ර විය. 

ගයාන් සේනානායක අනුෂ්කා සහ කෝලි විවාහ යුවළ සහ සචින් තෙන්ඩුල්කාර් ඇතුළු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් සමඟ ගත් ඡායාරූප කිහිපයක් ඉන්දීය මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලා අතර ප්‍රසිද්ධියට පත්ව තිබිණි. 

 අනුෂ්කා සහ කෝලිගේ විවාහ මංගල උත්සවය හින්දු චාරිත්‍රාණුකූලව ඉකුත් 11 වැනිදා ඉතාලියේ මිලාන් නුවරදී පැවැත්විණි. එය ඉතා චාමෙට පැවැත්විණි. අනුෂ්කා සහ කෝලී ප්‍රිය සාද දෙකක් පැවැත්වූහ.

පසුගිය 21 වැනිදා පැවැති පළමු ප්‍රිය සාදයකට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද සහභාගී විය. 

ගයාන් සහභාගී වූයේ 26 වැනිදා පැවැති දෙවැනි ප්‍රියසාදයටය.   

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS