ප්‍රවීණ ඉන්දීය සිනමා නළු ඕම් පූරි නික්ම යයි



ප්‍රවීණ ඉන්දීය නළු ඕම් පූරි අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය හා විදෙස් මාධ්‍ය සිකුරාදා (6) වාර්තා කළේය. 

ඕම් පූරි මියගිය බව බී.බී.සි පුවත් සේවය ඔහුගේ පවුලේ සාමාජිකයකු උපුටා දක්වමින් වාර්තා කර තිබිණි. මුම්බායි නුවර සිය නිවසේ සිටියදී හෘදයබාධයකින් ඔහු මිය ගිය බව එම වාර්තාවල දැක්විණි. ප්‍රධාන ධාරාවේ සහ කලාත්මක චිත්‍රපට රැසකට දායකත්වය දැක් වූ ඕම් පූරි 1980 දශකයේ ඉන්දීය සිනමාවේ සුවිශේෂී චිත්‍රපට රැසකට තම දායකත්වය දුන්නේය. 

බි්‍රතාන්‍ය චිත්‍රපට රැසකට ද තම දායකත්වය දුන් ඕම් පූරි මියයන විට 66 වියේ පසුවිය. සුප්‍රකට බි්‍රතාන්‍ය සිනමාකරු රිචඞ් ඇටෙන්බරොව් නිෂ්පාදනය කළ ‘මහත්මා ගාන්ධි’ චිත්‍රපටයට ද ඕම්පූරි තම දායකත්වය සැපයීය. 

දක්ෂතා රැසකින් සමන්විත ඕම්පූරි ඉන්දු, පාකිස්තාන, බි්‍රතාන්‍ය හා හොලිවුඞ් චිත්‍රපට රැසකට තම රංගන දායකත්වය දුන්නේය. බි්‍රතාන්‍ය සිනමා කර්මාන්තයට කළ සේවාව වෙනුවෙන් 2004 වසරේදී ඕම් පූරිට බි්‍රතාන්‍ය රැජින බි්‍රතාන්‍යය අධිරාජ්‍යයේ ඕඩරය (ඕ.බී.ඊ) යන ගෞරව නම්බු නාමය පිරිනැමුවාය.  

ඔහුගේ අභාවය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, බොලිවුඞ් සිනමා කර්මාන්තයේ නිරත පිරිස්, නළු නිළියන්, ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළු බොහෝ පිරිස් සිය ට්විටර් ගිණුම් ඔස්සේ කනගාටුව පළ කර තිබිණි. 

 

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවි/ද හින්දු)


RECOMMEND POSTS