ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිනිය සමුගනී



ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිනියක මෙන්ම නීතිඥවරියක ද වන අස්මා ජහන්ගීර් අභාවප්‍රාප්ත වී ඇතැයි පාකිස්තාන පුවත් සේවා වාර්තා කළේය.

මියයනවිට අස්මා ජහන්ගීර්  66 වන වියේ පසුවුණැයි ද පැවැසෙයි. පාකිස්තාන ජාතික කාන්තාවක වන අස්මා ජහන්ගීර් මියගොස් ඇත්තේ හෘදයාබාධයකින් යැයි ද වාර්තා වේ.

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් තම දායකත්වය සෑම විටම ලබාදුන් අස්මා ජහන්ගීර් තමන්ගේ වෘත්තීය ජීවිතය කාලය මුළුල්ලේ මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනි සිටි තැනැත්තියක වූ අතර ඇය නිරන්තරයෙන් කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් ද පෙනි සිටියාය.

අස්මා ජහන්ගීර් ශ්‍රී ලංකාවේ සිදුවූවායැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් නවිනීදන් පිල්ලේ පත් කළ කමිටුවේ සාමාජිකාවක් ද වූවාය.

වසර 1983 දී සිරභාරයට පත්වූ අස්මා ජහන්ගීර් 2007 වසරේදී නිවාස අඩස්සියට ද පත්වූවාය. ඇතැම් බුද්ධි අංශ නිලධාරීන් ඇය ඝාතනය කිරීමට උත්සාහ කළ බවට ද ප්‍රසිද්ධියට පත්වූ ලියකියවිලිවලින් අනාවරණය වී තිබූ අතර ඇය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ලෙස පාකිස්තාන රජයෙන් ඉල්ලා තිබිණි.

මෑතකාලීනව ඇය ඉරාන අත්අඩංගුවේ සිටින බී.බී.සී පර්සියානු සේවයේ මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනි සිටි අතර ඇය ඉරානයේ මානව හිමිකම් සම්බන්ධයෙන් පත් කරන ලද එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය ලෙසින් ද කටයුතු කරමින් සිටියාය.

අස්මා ජහන්ගීර්ගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය පළ කරමින් ඇගේ අඩුව අධිකරණ ක්ෂේත්‍රයට සිදු වූ සුවිශේෂී පාඩුවක් යැයි පාකිස්තාන අගමැති සහීද් කකාන් අබ්බාසි ප්‍රකාශ කර තිබිණි.

හර්ෂණ තුෂාර සිල්වා

(රොයිටර්)

 


RECOMMEND POSTS