නාසා ළාබාලම තානාපති



ඇමෙරිකාවේ නාසා ආයතනයේ ළාබාලම තානාපතිවරයා ලෙස, ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකික දරුවකු තෝරා ගෙන තිබේ.

නව හැවිරිදි මේ පුංචි පුතා, මේඝ මහීම විජේවර්ධන ය.

මේඝ පුතුගේ මාපියන් වන්නේ චරිත් සහ චමින්දි ය. නාසා ආයතනය, මේඝ ඔවුන්ගේ ළාබාලතම තානාපතිවරයා ලෙස තෝරා‌‌ගෙන ඇත්තේ, ඔහු අභ්‍යවකාශය පිළිබඳ මේ වන විටත් ලබා ඇති හසල දැනුම නිසාය.

මේඝ ජීවත් වන්නේ දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩ් නගරයේය. ඔහු ඇඩිලේඩ් වෙස්මිනිස්ටර් පාසලේ අධ්‍යාපනය ලබයි. අනෙක් දරුවන් අභිබවා සුවිශේෂී දක්ෂතා පෙන්නුම් කරන දරුවකු ලෙස මේඝ හඳුනා ගැනීමත් සමඟ වෙස්මිනිස්ටර් පාසලේ ආචාර්ය මණ්ඩලය ඔහුට සුවිශේෂී අධ්‍යාපනයක් ලබා දී තිබේ. පාසලේ අධ්‍යාපනයට අමතරව මේඝ, වයස අවුරුදු හතරේ සිට ම දකුණු විශ්ව විද්‍යාලයේ අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ පාඨමාලාවක් හැදෑරීමට යොමු විය. මේඝ කුඩා කාලයේදී, ඕස්ට්‍රේලියාවේ වෛද්‍යවරුන් ඔහු පරීක්ෂා කර පවසා ඇත්තේ ඔහුගේ මොළයේ වර්ධනය සාමාන්‍ය වයසට වඩා අවුරුදු පහකින් වැඩුණු අයෙකුගේ මෙන් සැකසී ඇති බවය. එහෙයින්, පාසලේ දී අමතර දැනුමක් ඔහුට ලබා දෙන ලෙස ගුරුවරුන්ට නිර්දේශ කළ බව මේඝ පුතුගේ මාපියන් වන චරිත් සහ චමින්දි පවසති.

2017 වසරේ, නාසා ස්පේස් ඇප් චැලේන්ජ් තරගයට සහභාගි වී, තමන්ට වඩා වැඩිමහලු අය සමග තරග කොට ජය ගැනීමට මේඝ සමත් විය. 2018 දී ද යළිත් එම අභියෝගයට ම ඉදිරිපත් වී ඔහු ජයග්‍රහණය කළේය. එහිදී ‘බෙන්නු’ ග්‍රහකය පිළිබඳ පර්යේෂණවලට එක්වීමටත් නාසා ආයතනය මේඝට අවස්ථාව ලබා දුන්නේය. මේඝ ට නාසා ආයතනයේ ‘ඔසයිරිස් රෙක්ස්’ මෙහෙයුමට අදාළව ඔස්ට්‍රේලියාවේ තානාපතිවරයකු ලෙස අයැදුම් කරන්නට අවස්ථාවක් ද ඒ සමඟ උදා විය.

නාසා ආයතනය ඔවුන්ගේ 'තානාපති ධුරය' පිරිනමන්නේ ආරක්ෂක, සමාජ සම්බන්ධතා, සෞඛ්‍ය තත්වය පිළිබඳ දීර්ඝ අධ්‍යයනයකින් පසුවය. නාසා ආයතනය මගින් පැවැත්වූ පරීක්ෂණයකින් ඉහළින් සමත් වීම නිසා මේඝට යොවුන් තානාපති පදවිය පිරිනැමීම සිදුවිය. නාසා ආයතනයේ ‘ඔසයිරිස් රේක්ස්’ අභ්‍යවකාශ ගවේෂණ මෙහෙයුම සම්බන්ධ තොරතුරු ඔස්ට්‍රේලියානු ජනතාව වෙත ලබාදීම, සමාජයෙන් මතු වන ප්‍රශ්නවලට පිළිතුර දීම ඇතුළු කාර්යයන් පැවරෙන්නේ මේඝටය. ‘ඔසයිරිස් රේක්ස්’ යනු නාසා ආයතනය විශ්වයේ ඈත වේගයෙන් ඇදී යන බෙන්නු ග්‍රහකයට ගොස්, එහි පස් සූරා එක් රැස් කරගෙන යළි පෘථිවියට ගෙන ඒමේ මෙහෙයුමය. ග්‍රහකයේ පස් සාම්පල රැගෙන ‘ඔසයිරිස් රේක්ස්’ යානය මේ වනවිට පෘථිවිය බලා පැමිණෙමින් සිටී‍.

‘පුතා ගැන චාමින්දිටත් මටත් හරිම පුදුමයි. මොනවා කළත් පුතා ලංකාවට ආදරෙයි. එයා කියන්නේ ශ්‍රී ලාංකිකයකු වීම එයාට ආඩම්බරයක් කියලයි. එයාට මේ දේවල් හැරුණ විට ගීත ගයන්න, සංගීත භාණ්ඩ වාදනය කරන්න, චෙස් ක්‍රීඩා කරන්න, පිහිනන්න පුළුවන්. ඔහු පාසල් ක්‍රිකට් කණ්ඩායමේත් නායකයා. ඒ වගේ ම ඔහු පිට පිට ම මීටර් 400 දිවීමේ තරගයෙන් ප්‍රථමයා වුණා.’ චරිත් සිය පුතු මේඝ ගැන ආඩම්බරයෙන් පවසයි.

කුඩා අවධියේදි සිටම විද්‍යාවට තදින් ඇලුම්කරන පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන මේ පුංචි හපනාට ජීවිතයේ අරමුණු දෙකකි. පළමු අරමුණ වන්නේ, වයස අවුරුදු පහළොවේදී ගුවන් නියමු බලපත්‍රය ලබාගෙන සිවිල් ගුවන් නියමුවෙකු වීම සහ අවුරුදු 19 පසුවූ විට වාණිජ ගුවන් නියමු බලපත්‍රය ලබාගැනීමය. දෙවන අරමුණ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා අවසානයේ ඔස්ට්‍රේලියානු අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ හා ඇමරිකාවේ නාසා ආයතනයේ රොකට් විද්‍යාඥයෙකු වීමය.

ඕස්ට්‍රේලියා පුවත් සේවා ඇසුරිනි


RECOMMEND POSTS