තෙවැනිවරටත් සුබ මංගලම්



පාකිස්තාන ක්‍රිකට් විරුවකු මෙන්ම, එරට විපක්ෂ නායකයා ද වන 65 හැවිරිදි ඉම්රාන් ඛාන් තෙවැනිවරටත් විවාහ ඇති බවත්, මෙවර ඔහුගේ බිරිය වී ඇත්තේ, ඔහුට ‘අධ්‍යාත්මික සතුට’ ළඟා කරදීමේ උපදේශිකාවක ලෙස කටයුතු කළ බුෂ්රා මනේකා නමැත්තියයි.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසු දේශපාලනයට පිවිසි ඉම්රන් නායකත්වය දෙන්නේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ දේශපාලන පක්ෂයටය. පාකිස්තානයේ ප්‍රබල විපක්ෂ දේශපාලන කණ්ඩායමක් ලෙස මෙම පක්ෂය සැලකෙයි.

ඉම්රාන්ගේත් බුෂ්රා මනේකාගේත් මංගල උත්සවය ඉතා චාමෙට ලාහෝර් නුවරදී පැවැත්වුණු බව ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. මංගල උත්සවය පැවැත්වූයේ බුෂ්රා මනේකාගේ සොහොයුරාගේ නිවසේය.

මනේකාගේ වයස ප්‍රසිද්ධියට පත් කර නොමැති නමුත්, ඇය අවුරුදු 40 පසු කළ තැනැත්තියක බව පාකිස්තාන පුවත් සේවා වාර්තා කරයි. ඇය මීට පෙර විවාහ වී සිට ඇත. ඒ, ඉහළ පෙළේ රේගු නිලධාරියකු සමඟය.

ඉම්රාන් ඛාන් ඔහුට ආධ්‍යාත්මික සුවය ළඟා කර දීමට උපදේශිකාවක ලෙස කටයුතු කරන බුෂ්රා මනේකා සමඟ විවාහ වීමට නියමිත යැයි ඕපාදූප පුවත් සේවා වාර්තා කරන්න වූයේ පසුගිය ජනවාරි මාසයේ සිටය.

ස්ත්‍රී ලෝලියකු ලෙස ඉම්රාන් ඛාන් ප්‍රසිද්ධියට පත් ව සිටී. පක්ෂ ආධාරකාරියනට අතවර කිරීමට තැත් කළේ යැයි ද ඔහුට චෝදනා එල්ල වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් නඩු විභාගයක් පවා පැවැත්වෙයි.

ඉම්රාන් ඛාන්ගේ පළමු විවාහය සිදුවූයේ 1995 වසරේදී ජෙමීමා ගෝල්ඞ්ස්මිත් සමඟය. අවුරුදු 9 කට පසු, 2004 දී දෙදෙනාගේ දික්කසාදය සිදුවිය. ඉම්රාන්ගේ දෙවැනි බිරිය වූයේ රෙහාම් කාන්ය. ඇය රූපවාහිනී පුවත් නිවේදිකාවක වූවාය. එම විවාහය මාස 10 කට පමණක් සීමා විය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS