ට්‍රම්ප් ලේලි දික්කසාදය ඉල්ලයි



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ වැඩිමල් පුතු ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර් (කනිෂ්ඨ) ගේ බිරිඳ වෙනේසා දික්කසාද වීමට සූදානමින් සිටින බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර් (කනිෂ්ඨ) සහ බිරිඳ වෙනෙසා දික්කසාද වන බවට පුවත් පළ වූයේ පෙරේදා (14) දිනයේ සිටය.

කෙසේ නමුත් මේ වනවිට වාර්තා වී ඇත්තේ, වෙනේසා දික්කසාදය සඳහා අදාල ලියවිලිවලට අත්සන් තැබීමට සූදානමින් පසුවන බවත්, සැමියා ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර් (කනිෂ්ඨ) ද ඊට එකඟත්වය පළ කර ඇති බවත්ය.

ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර් (කනිෂ්ඨ) සහ වෙනේසා විවාහ වූයේ 2005 වසරේදීය. දෙදෙනාම 40 හැවිරිදි වියෙහි පසුවෙති. වෙනේසා ද මෝස්තර නිරූපිකාවක ලෙස කටයුතු කළ අයෙකි. දෙදෙනාට දරුදැරියන් පහකි.

පියා ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ මැතිවරණ කටයුතුවලදී විශාල වැඩ කොටසක් කළ අයකු ලෙස ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර් (කනිෂ්ඨ) සැළකෙයි. ට්‍රම්ප්ගේ ව්‍යාපාර කටයුතු බලා ගැනීම පැවැරී ඇත්තේ ද ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර් (කනිෂ්ඨ) සහ ට්‍රම්ප්ගේ තවත් පුතකු වන එරික් ට්‍රම්ප්ටය.

2016 වසරේ ට්‍රම්ප්ගේ මැතිවරණ කටයුතුවලදී ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර් (කනිෂ්ඨ) රුසියානුවන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවත්, ඒ අනුව ට්‍රම්ප්ගේ ජයග්‍රහණය පසුපස රුසියාව සිටින බවටත් චෝදනා එල්ල වී ඇත. මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු තවමත් සිදුවෙමින් පවතී.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS