ට්‍රම්ප් මෙලානියා විපතට පත්වූවන් සනසති



ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා පසුගිය දා ‘හර්වි’ සුළි කුණාටුවෙන් විපතට පත් වූ වැසියන්ගේ සුවදුක් විමසා බැලීමට ටෙක්සාස් ජනපදයේ හූ    ස්ටන් බලා පැමිණියහ.

ට්‍රම්ප් සහ මෙලානියා හූස්ටන්හි එන්.ආර්.ජී. ක්‍රීඩාංගනයට ගිය අවස්ථාවේදීය. ජල ගැලීම් හේතුවෙන් උන්හිටිතැන් අහිමි වුණු හූස්ටන් වැසියන් දස දහසකට වැඩි පිරිසක් මෙම ක්‍රීඩාංගනයේ රැඳී සිටිති.

ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා ජල ගැලීම්වලින් විපතට පත් වූවන්ගේ සුවදුක් විමසා බැලීමට ටෙක්සාස් ජනපදයේ සංචාරය කළ දෙවැනි අවස්ථාව මෙය විය.

ක්‍රීඩාංගනයේ රැඳී සිටින පිරිස් වෙත ආහාර සහ ඖෂධ ලබා දීම මෙලානියා ට්‍රම්ප් අතින් සිදුවිය. ජනපති ට්‍රම්ප් කුඩා දරු දැරියන් හුරතල් කරන්න විය. ඊට අමතරව, ක්‍රීඩාංගනයේ සිටි තරුණ තරුණියන්ගේ සෙල්ෆි ඡායාරූපවලට පෙනී සිටීමට ද ට්‍රම්ප්ට සිදුවිය

ටෙක්සාස් ජනපදය හරහා ඇමෙරිකාවට කඩා වැදුණු ‘හාර්වි’ සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් වූවන් වෙනුවෙන් තමන් තම පෞද්ගලික මුදලින් ඇමෙරිකන් ඩොලර් මිලියනයක් පරිත්‍යාග කරන බව ට්‍රම්ප් පසුගිය දා පවසා ඇතැයි ද විදෙස් පුවත් සේවා මතක් කර දෙයි.

ඇමෙරිකාවට කඩා වැදුණු ‘හාර්වි’ සුළි කුණාටුව නිසා සිදුවුණු අලාභය ඇමෙරිකන් ඩොලර් බිලියන 42 ඉක්මවන බව ඇමෙරිකන් රජය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. සුළි කුණාටුවෙන් එල්ල වුණු බලපෑම තවමත් අවසන් වී නැත.

ලුවිසියානා ජනපදයේ පළාත් රැසක් තවමත් ජලයෙන් යටවී ඇතැයි ද පැවැසෙයි. ජල ගැලීම්වලට කොටුවුණු පුද්ගලයන් බේරා ගැනීම දිගටම සිදුවෙයි. විදුලි බල සැපැයුම් අඩපණ වී තිබුණත්, මේ වනවිට එම කටයුතු යළි යථා තත්ත්වයට පත් වී ඇතැයි ද පැවැසෙයි. එන්.ආර්.ජී. ක්‍රීඩාංගනයේ කළ සංචාරයෙන් පසු, ට්‍රම්ප් ටෙක්සාස් ජනපද බලධාරීන් හමුවී සහන සේවා කටයුතු සිදුවන අයුරු ගැන ද සොයා ලැබීමට අමතක නොකළේය.

(ඬේලිමේල්)


RECOMMEND POSTS