ට්‍රම්ප් දීපාවලී සමරයි



ඇමෙරිකා ජනපති මන්දිරය හෙවත් ‘ධවල මන්දිරයේ’ විශේෂ දීපාවලී සැමරුම් උත්සවයක්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

දීපාවලී සැමැරුම පැවැත්වූයේ ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේය. එම අවස්ථාවට ධවල මන්දිරයේ කාර්ය මණ්ඩලයට අයත් ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකානුවෝ පමණක් නොව, ට්‍රම්ප් පරිපාලනයට සම්බන්ධ ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකානුවෝ ද සහභාගී වූහ.
නපුර (අඳුර) පරදා යහපත (ආලෝකය) ජය ගැනීම සංකේතවත් කරමින් ලොව පුරා හින්දු බැතිමත්හු දීපාවලී ආලෝක පූජාව සිදු කරති.

ඇමෙරිකා ජනාධිපති ලෙස ඩොනල්ඞ් ට්‍රම්ප් එම ධුරයට පත් වූයේ මෙම වසරේ ජනවාරියේය. ඒ අනුව, ට්‍රම්ප් ධවල මන්දිරයේ දීපාවලී සැමැරුමක් පවත්වන පළමු අවස්ථාව මෙයයි.

ට්‍රම්ප් පරිපාලනයට සම්බන්ධ ඉන්දීය සම්භවයක් සහිත එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන ඇමෙරිකානු තානාපතී නිකී හේලි පමණක් මෙන්ම, ඇමෙරිකා සෞඛ්‍ය කටයුතු බාර සීමා වර්මා ද ධවල මන්දිරයේ දීපාවලී සැමැරුමට පැමිණ සිටියාහ.

රැස්ව සිටි පිරිස අමතමින්, ට්‍රම්ප් කියා සිටියේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ ශක්තිමත් මිතුදම් පැවැත්වීමට තමන් කටයුතු කර ඇති බවය.

ට්‍රම්ප් තව නොබෝ දිනකින් ආසියාවේ සංචාරයක නියැළෙනු ඇත. එම සංචාරය අතරතුරේ ඔහු ඉන්දියාවට පැමිණෙනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළේය. කෙසේ නමුත් ආසියානු සංචාරයේ දී ආසියානු කලාපීය සමුළුවලදී ට්‍රම්ප්ට ඉන්දීය අගමැති මෝදි හමුවීමට අවස්ථාව ලැබෙන හෙයින්, නොවැම්බරයේ පැවැත්වෙන ආසියානු සංචාරයේ දී ට්‍රම්ප් ඉන්දියාවට නොපැමිණෙන බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ.

(ඒ.එෆ්.පී./එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS