ටර්මිනේටර් ඩාක් ෆේට් එනවා



මනුෂ්‍ය වර්ගයාට එරෙහි කෘත්‍රිම බුද්ධි රොබෝ යන්ත්‍ර නැගී සිටීම, ‘ටර්මිනේටර් චිත්‍රපට මාලාවට පාදක වෙයි.

හොලිවුඩයේ විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපට අතරින් ‘ටර්මිනේටර්’ චිත්‍රපට කැපී පෙනෙයි. පළමු ටර්මිනේටර් චිත්‍රපටය සහ දෙවැන්න ටර්මිනේටර් ජජ්මන්ට් ඬේ තිරගත වූයේ 1984 සහ 1991 දීය. තෙවැන්න ටර්මිනේටර් 3 රයිස් ඔෆ් ද මැෂීන්ස් 2003 දී තිරගත විය.

මේ චිත්‍රපට අතරින් ජේම්ස් කැමරන් අධ්‍යක්ෂණය කළ ‘ටර්මිනේටර් 2’ බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවීය. අතිශය ජනප්‍රිය විය. ටර්මිනේටර් චිත්‍රපට ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුවක් වූයේ සුපිරි හොලිවුඞ් නළු ආනෝල්ඞ් ස්වාසනගර්ගේ රංගනයයි. රංගනයට සමුදී ආනෝල්ඞ් ඇමෙරිකා දේශපාලනයට අවතීර්ණ වී කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා බවට පත්වීමෙන් පසු 2009 දී තවත් ටර්මිනේටර් චිත්‍රපටයක් රිදී තිරයට ආවේය.

ඒ, ටර්මිනේටර් සැල්වේෂන් චිත්‍රපටයයි. ‘ටර්මිනේටර් 2’ තරම් අනෙක් චිත්‍රපට සාර්ථක නොවිණි. පරිගණක ඇසුරින් ආනෝල්ඞ්ගේ රුව ඉතා කෙටි දසුන් පෙළකට නිර්මාණය කළ අයුරු එම චිත්‍රපටයේ දකින්න ලැබුණි. එය පැරැණි ටර්මිනේටර් චිත්‍රපට මෙන් ජනප්‍රිය නොවිණි.

දේශපාලනයෙන් ඉවත්වී යළි රංගනයට අවතීර්ණ වීමෙන් පසු ආනෝල්ඞ් ප්‍රධාන චරිත නිරූපණය කළ ‘ටර්මිනේටර් ජෙනසිස්’ 2015 දී තිරගත විය. ඒ, ටර්මිනේටර් කතා මාලාව වෙනස් ස්වරූපයක් ගැන්වීමට සලස්වමිණි. එය බොක්ස් ඔෆිස් චිත්‍රපටයක් විය. ‘ටර්මිනේටර් ජෙනසිස්’ චිත්‍රපටයේ දිගුවක් ලෙස ‘ටර්මිනේටර් ද ටාක් ෆේට්’ චිත්‍රපටය මෙම වසරේ නොවැම්බර් පළමු වැනිදා සිට ලොව පුරා තිරගත වෙයි. ඩෙඞ්පූල් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන ටිම් මිලර් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන අතර චිත්‍රපටයේ තිර රචකයකු වන්නේ ජේම්ස් කැමරන්ය.

පළමු සහ දෙවැනි ටර්මිනේටර් කතා මාලාවට ජනප්‍රිය හොලිවුඞ් නිළි ලින්ඩා හැමිල්ටන් ද රංගනයෙන් දායක විය. ලින්ඩා හැමිල්ටන් යනු ජේම්ස් කැමරන්ගේ පරණ බිරිඳය. ‘ටර්මිනේටර් ද ටාක් ෆේට්’ සඳහා ලින්ඩා හැමිල්ටන් රංගනයෙන් දායක වන්නේ සුපුරුදු පරිදි සේරා කොනර්ගේ චරිතයට පණ දෙමිනි. ජේම්ස් කැමරන් සහ ලින්ඩා හැමිල්ටන් වසර ගණනාවකට පසු එකට වැඩ කළ පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙයි. ‘හොඳ’ ටර්මිනේටර් ලෙස මහලු වියට පත් ආනෝල්ඞ් චිත්‍රපටයට එක් වෙද්දී, ‘නපුරු’ ටර්මිනේටර් ලෙස රංගනයේ යෙදෙන්නේ ගැබි්‍රයෙල් ලූනා ය. තරුණ නළුවකු වන මොහු ලෝ පුරා ජනප්‍රිය වූයේ මාවල් ‘ඒජන්ට්ස් ඔෆ් ෂීල්ඞ්’ ටෙලි කතා මාලාවේ මාවල් සුපිරි වීරයකු වන ගෝස්ට් රයිඩර්ගේ චරිතයට පණ පොවමිනි.

‘ටර්මිනේටර් ද ටාක් ෆේට්’ චිත්‍රපටයට තවත් නවක නිළියෝ දෙදෙනෙක් එක් වී සිටිති. මැකෙන්සි ඬේවිස් සහ නටාලියා රෙයාස් ඔවුන් දෙදෙනාය. මෙම චිත්‍රපටයේ නපුරු ටර්මිනේටර්වරුන්ගේ ඉලක්කය වන්නේ මොවුන් දෙදෙනා විසින් නිරූපණය කරන ග්‍රේස් සහ ඩානී රාමෝස් යන චරිතය.අධ්‍යක්ෂ ටිම් මිලර් සහ ජේම්ස් කැමරන් පවසා ඇත්තේ ටර්මිනේටර් කතා මාලාව අලුත් කිරීමට ඔවුන්ට හැකිවුණු බවත්, ඉදිරියේ දී තවත් ටර්මිනේටර් චිත්‍රපට නිර්මාණයට ‘ටර්මිනේටර් ද ටාක් ෆේට්’ මඟ පෑදෙනු ඇති බවත්ය.


RECOMMEND POSTS