ජැක් රයන් පුංචි තිරයට



ඇමෙරිකන් ලේඛක ටොම් ක්ලැන්සි නිර්මාණය කළ ජැක් රයන් නමැති සී.අයි.ඒ. බුද්ධි අංශ දත්ත විශේලේෂක නිලධාරියාගේ චරිතය බොහෝ දෙනා අතරේ ප්‍රසිද්ධය.

ජැක් රයන්ගේ වික්‍රම ඇතුළත් සිනමා නිර්මාණ 4 ක් එළිදක්වා ඇති අතර ඇලෙක් බෝල්ඩ්වින්, හැරිසන් ෆෝඩ්, බෙන් ඇෆ්ලික් සහ ක්‍රිස් පයින් යන ජනප්‍රිය නළුවන් ජැක් රයන්ගේ චරිතයට පණ පොවා ඇත.

දැන් ජැක් රයන්ගේ තවත් වික්‍රමයක් එළිදැක්වීමට නියමිතය. මෙය එළිදැක්වෙන්නේ ජැක් රයන් යන නමින් ඇමසන් ප්‍රයිම් රූපවාහිනී කතා මාලාවක් ලෙසය. මෙවර ජැක් රයන්ගේ චරිතයට පණ පොවන්නේ ජෝන් ක්‍රෙසෙන්ස්කීය.

ක්‍රෙසෙන්ස්කී පසුගිය කාලයේ හොලිවුඩයේ කතාබහට පමණක් නොව, සිනමා විචාරකයන්ගේ පැසැසුමට ද ලක් විය.  ඒ, ක්වයට් ප්ලේස් චිත්‍රපටය හේතුවෙනි. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේත් ප්‍රධාන චරිත නිරූපණයක යෙදුණේත් ක්‍රෙසෙන්ස්කීය.

ඉස්ලාමීය ත්‍රස්ත ත්‍රර්ජනයක් වැළැක්වීමට ජැක් රයන්, මැදපෙරදිග රටවලත්, යුරෝපයේත් කරන මෙහෙයුම කතා මාලාවට පාදක වෙයි.

ජැක් රයන්ගේ පෙම්වතිය වන කැතී මියුලර්ගේ චරිතය පණ පොවන්නේ ඇබී කෝරිෂ්ය. ජියෝ ස්ටෝම් චිත්‍රපටයේ ජනපති ආරක්ෂක අංශ නිලධාරිනියගේ චරිතයට පණ පෙව්වේ ඇබීය.

ඊට අමතරව, වෙන්ඩර් පියර්ස්, ජෝන් හූගෙනකර්, අලී සුලෙයිමාන් ආදීහු මෙම රූපවාහිනී කතා මාලාව සමඟ එක් වී සිටිති.

ජැක් රයන් පළමු කතාමාලාවේ සියලු කතාංග හෙට (31) වැනිදා සිට ඇමසන් ප්‍රයිම් වීඩියෝ හරහා නැරැඹීමට හැකියාව ලැබේ. මේ වනවිටත් දෙවැනි කතා මාලාවක් වෙනුවෙන් සියලු කටයුතු සූදානම් බවත් රූගත කිරීම් ලහිලහියේ ආරම්භ වනු ඇති බවත් පැවැසෙයි.


RECOMMEND POSTS