ජස්ටිස් ලීග් වික්‍රමය ගැන අසතුටින්



ලොව කවුරුත් පුලපුලා බලා සිටි සුපිරි වීරයන්ගේ වික්‍රමය ‘ජස්ටිස් ලීග්’ සිතූ තරම් ‘සුපිරි’ චිත්‍රපටයක් නොවන බව චිත්‍රපටයට පළමුවෙන් නැරැඹූ බොහෝ දෙනෙක් පවසති.

‘ජස්ටිස් ලීග්’ චිත්‍රපටය අද (17) ලොව පුරා තිරගත වීම ආරම්භ කළේය. ඇමෙරිකානුවන්ට පෙර ආසියානු රටවල සිනමාලෝලීන්ට චිත්‍රපටය නැරැඹීමට පළමුවෙන් අවස්ථාව උදා විය. බොහෝ දෙනා පෝලිම් ගැසී චිත්‍රපටය නැරැඹීමට ගිය ද එය සිතූ තරම් ‘සුපිරි’ චිත්‍රපටයක් නොවන බව අවසානයේ කාගේත් අදහස විය.

සැක් ස්නයිඩර්ගේ අධ්‍යක්ෂණයක් වන ‘ජස්ටිස් ලීග්’ චිත්‍රපටයට පාදක වන්නේ ඩී.සී. කොමික්ස් සුපිරි වීරයන් වන සුපර් මෑන්, වොන්ඩර් වුමන්, බැට් මෑන්, අක්වා මෑන්, ෆ්ලෑෂ් සහ සයිබෝග් ය. මොවුන් පෙළ ගැසෙන්නේ වෙනත් ලොවකින් පැමිණෙන ‘ස්ටෙෆන් වුල්ෆ්’ නමැති නපුරා සහ ඔහුගේ හමුදාවට එරෙහිවය.

ක්‍රියාදාම අතින් සහ පරිගණක තාක්ෂණය භාවිතයෙන් චිත්‍රපටය උසස් තත්ත්වයක පවතින අතර, වොන්ඩර් වුමන් ලෙස ගැල් ගැඩොට්, බැට් මෑන් මෙන්ම බෲස් වේන් ලෙස සම්මානනීය නළුවකු සහ අධ්‍යක්ෂවරයකු ද වන බෙන් ඇෆ්ලික් චිත්‍රපටයේ කැපී පෙනෙති. ඇක්වාමෑන් ලෙස ජේසන් මමෝආ, සයිබෝර්ග් ලෙස රේ ෆිෂර්, ෆ්ලෑෂ් ලෙස එස්රා මිලර් ද අපූරු රංගනයක යෙදෙති.

ඊට අමතරව, බෲස් වේන්ගේ බට්ලර්වරයා සහ සහයක ලෙස ජෙරමි අයන්ස්, සුපර් මෑන්ගේ පෙම්වතිය ලොයිස් ලේන් ලෙස ඒමී ඇඩම්ස් ද ගොතම් නගරයේ පොලිස්පති ජේම්ස් ගෝඞ්න් ලෙස ජේ.කේ. සිමන්ස්, ක්ලාක් කෙන්ට්ගේ මව මාතා ලෙස ඩයෑන් ලේන් ද සුළු චරිත අතර සිටිති. මොවුහු සිවුදෙනාම සම්මානනීය නළු නිළියන් වන අතර, මොවුන් මොවුන්ට ලැබී ඇති චරිතවලට උපරිම සාධාරණයක් ඉටු කරති. 

සම්මානනීය මෙන්ම අතිශයින් ජනප්‍රිය නළු නිළි කැළක් එක්වී සිටියත්, ක්‍රියාදාම පිරුනත්, හාස්‍යමුසු ජවනිකා කිහිපයක් ද ඇතුළත් වුවත්, ජස්ටිස් ලීග් චිත්‍රපටය, මෙතෙක් නිර්මාණය වී ඇති සෙසු සුපිරි වීරයන්ගේ චිත්‍රපට තරම් සාර්ථක නැතැයි විචාරකයන්ගේ ද අදහස වී ඇත.

ලුසිත ජයමාන්න 

 


RECOMMEND POSTS