ගේම් ඔෆ් ත්‍රෝං නිළියට සැත්කම් දෙකක්



‘ගේම් ඔෆ් ත්‍රෝං’ කතා මාලාවේ ප්‍රධාන චරිතයක් වන්නේ මකර කුමරිය ඩැනේරිස් ටාගේරියන් ය. මෙම චරිතයට පණ පොවන්නේ බ්‍රිතාන්‍ය නිළි ඒමිලියා ක්ලාක්ය.

මොළයේ ගෙඩියකින් තමන් පීඩා විඳි බවත්, එම ගෙඩිය ඉවත් කිරීමට අවස්ථා දෙකකදී තමක් සැත්කම් දෙකකට භාජන වූ බවත්, එය මහත් වේදනාකාරී අත්දැකීමක් වූ බවත් ඒමිලියා පවසයි. ඒමිලියා සිය රෝගී තත්ත්වය ප්‍රසිද්ධියට පත් කළ පළමු අවස්ථාව මෙයයි.

ලොව වැඩිම පිරිසක් නරඹන ටෙලි කතා මාලාවක් ලෙස සැලකෙන්නේ ‘ගේම් ඔෆ් ත්‍රෝං’ ය.  

‘ගේම් ඔෆ් ත්‍රෝං’ අවසන් කතා මාලාව ලබන අප්‍රේල් මාසයේ දී එච්.බී.ඕ. නාළිකාව ඔස්සේ විකාශය වීමට නියමිතය. ‘ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝර්’ චිත්‍රපටයට අමතරව, වැඩිම පිරිසක් නැරැඹීමට පුලපුලා බලා සිටින කතා මාලාවක් වන්නේ ‘ගේම් ඔෆ් ත්‍රෝං’ කතා මාලාවේ 8 වැනි කතා පෙළය.

අහිංසක දුර්වල කුමරියකගේ සිට මහා හමුදාවක් මෙහෙයවන මකර රැජිනක බවට පත්වීමට ඩැනේරිස් ටාගේරියන් සමත් වූ අයුරු සැබැවින්ම අපූරුය. නිළි ඒමිලියා ක්ලාක් ලොව කා අතරේත් ජනප්‍රිය තරුවක් බවට පත් වූයේ ‘ගේම් ඔෆ් ත්‍රෝං’ කතා මාලාව හරහාය.

ඒමිලියාගේ සැත්කම් ඉතා අවදානම් විය. ඒවා නොකළේ නම් ඇයගේ ජීවිතයට අනතුරක් සිදුවනු ඇතැයි වෛද්‍යවරු පෙන්වා දී තිබුණාහ.  ඒමිලියා සැක්තම්වලට මුහුණ දී ඇත්තේ ජීවිත අවදානමකින් සහ බියකිනි. ඇය මානසිකව ඇද වැටුණාය. සැත්කම් සාර්ථක නමුත්, තවමත් ඇතැම් අවස්ථාවල ඇය තැති ගැනීම්වලට ලක් වන බවත්, නින්දෙන් බිය වී අවදිවන බවත් ඒමිලියා කියයි.

ඒමිලියා ඇගේ මොළයේ ආබාධය ගැන මුලින්ම දැනගෙන ඇත්තේ 2011 දීය. ඒ, ඇය හදිසියේ නාන කාමරයේ සිහිසුන්ව ඇද වැටීමේ සිදුවීමෙන් පසුවය. ඒමිලියා කඩිනමින් රෝහල් ගත කෙරුණු අතර ඇගේ මොළයේ ගෙඩියක් ඇති බවත්, වහා එය ඉවත් කළ යුතු බවත් ​වෛද්‍යවරු තීරණය කළහ. ඒමිලියාගේ පළමු සැත්කම සිදු කර ඇත්තේ, ‘ගේම් ඔෆ් ත්‍රෝං’ කතා මාලාවේ දෙවැනි කතා මාලාව විකාශය වීමට පෙර යැයි ද පැවැසෙයි.

දෙවැනි සැත්කම 2013 දී සිදු කෙරුණි. කඩිනමින් රෝගී තත්ත්වය හඳුනා ගනිමින් සැත්කම් සිදු කිරීම හේතුවෙන් ඒමිලියා අද සියයට සියයක් නිරෝගී තැනැත්තියක බව වෛද්‍යවරු පෙන්වා දෙති.

මොළයේ ගෙඩිය සම්බන්ධයෙන් සහ එයින් වේදනා විඳිමින් ගත කළ ජීවිතය ගැනත් සිදුකළ සැත්කම් ගැනත් ඒමිලියා පසුගිය දා ‘ද නිව්යෝකර්’ පුවත්පතට ලිපියක් සම්පාදනය කරමින් අනාවරණය කළාය.

මොළයේ ගෙඩි, පිළිකා සහ ආඝාත තත්ත්වයන්ගෙන් පීඩා විඳින රෝගීන් වෙනුවෙන් ඒමිලියා අරමුදලක් ද පිහිටුවා ඇත.

ලුසිත ජයමාන්න
බී.බී.සී. ඇසුරිනි

RECOMMEND POSTS