ගුගුරු දෙවියාගේ වික්‍රමය ජනප්‍රියයි



මාවල් වීරයකු වන ඇස්ගාඞ් දෙව්ලොවේ ගුගුරු දෙවියා හෙවත් තෝර්ගේ තෙවැනි වික්‍රමය වන ‘තෝර් රැග්නරොක්’ අද 3 වැනිදා සිට ලොව පුරා තිරගතවීම ආරම්භ වූ අතර කාගේත් පුදුමයට පරිදි එය විචාරකයන්ගේ පැසැසුමට ලක් වී ඇත.

‘තෝර් රැග්නරොක්’ ක්‍රියාදාම පමණක් නොව ප්‍රහසනය ද පිරි චිත්‍රපටයක් බවත්, මෙතෙක් නිර්මාණය වුණු හොඳම තෝර් චිත්‍රපටය මෙය බවත් පැවැසෙයි. ‘තෝර් රැග්නරොක්’ ටකියා වයිටීටීගේ අධ්‍යක්ෂණයකි. ටකියා වයිටීටී හොලිවුඞ් සිනමාවට ආධුනිකයෙකි.

‘තෝර් රැග්නරොක්’ චිත්‍රපටයට පාදක වන්නේ ‘තෝර් 2 ද ඩාර්ක් වර්ල්ඞ්’ චිත්‍රපයටත්, සෙසු මාවල් චිත්‍රපට වන ‘කැප්ටන් ඇමෙරිකා සිවිල් වෝ’ සහ  ‘ඩොක්ටර් ස්ටේ්‍රජ්’ චිත්‍රපටවලට පසු සිදුවන සිදුවීම් පෙළකි.‘තෝර් රැග්නරොක්’ චිත්‍රපටයේ තෝර් පමණක් නොව, තවත් මාවල් වීරයකු වන හල්ක් ද සිටීම සිනමා ලෝලීන් අමන්දානන්දයට පත් කිරීමට හේතුවක් වී ඇත.

සුපුරුදු පරිදි ගුගුරු දෙවියා තෝර් ලෙස ක්‍රිස් හෙම්ස්වර්ත්, බෲස් බැනර් සහ හල්ක් ලෙස මාර්ක් රෆලෝ, තෝර්ගේ පියා ඕඞ්න් දෙවියන් ලෙස ඇන්තනි හොප්කින්ස්, ටොක්ටර් ස්ටේරන්ජ් ලෙස බෙනඩික් කම්බර්බැක්, තෝර්ගේ අඩ සොයුරා ලොකී ලෙස ටොම් හිඞ්ල්සන් ආදීහු චරිත නිරූපණය කරති.

චිත්‍රපටයේ ප්‍රධාන නපුරිය වන්නේ මරණයට අධිපති හේලාය. ඇගේ චරිතයට පණ දෙන්නේ කේට් බැල්න්චෙට්ය. ඊට අමතරව ජෙෆ් ගෝල්ඞ්බ්ලම්, කාල් උර්බන්, තෙසා තොම්සන් ද චිත්‍රපටයට සම්බන්ධ වී සිටිති.

ඒ.එෆ්.පී. ඇසුරිනි


RECOMMEND POSTS