ග්‍රෙටා දියණිය සහ ඬේවිඞ් ඇටන්බරෝ හමුවෙලා



ස්වීඩන පරිසර ක්‍රියාකාරිනියක වන ග්‍රෙටා තන්බර්ග් සහ ලෝකය ගැනත් සතුන් ගැනත් දශක ගණනාවක් තිස්සේ අප දැනුවත් කරන බ්‍රිතාන්‍ය ජාතික පරිසරවේදී ශ්‍රීමත් ඬේවිඞ් ඇටන්බරෝ අතර හමුවක් ඊයේ (30) සිදුවිය.

එය යුග දෙකක් අතර පැවැත්වුණු ඓතිහාසික හමුවක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

හමුව පැවැත්වූයේ ස්කයිප් වීඩියෝ කතාබහක් හරහාය. ඒ, බීබීසී නාළිකාවේ ‘බීබීසී ටුඬේ’ වැඩසටහන අතරතුරේදී ය.

බීබීසී නිවේදිකාව 16 හැවිරිදි ග්‍රෙටා දියණිය සම්බන්ධයෙන් 93 හැවිරිදි ඬේවිඞ්

ඇටන්බරෝගෙන් විමසීමක් කළාය. එහිදී ඇටන්බරෝ, ග්‍රෙටා ගැන කතා කළේ ලොකු පැහැදීමකිනි.

‘ග්‍රෙටාට අප ණය ගැතියි. ඇයට ස්තුති කරන්න ඕනෑ. කාලගුණ විපර්යාස, ගෝලීය උණුසුම ඉහළ යෑම සම්බන්ධයෙන් ලෝකයාගේ ඇස් අරින්න ඇය සමත්වීම ගැන හරිම සතුටුයි’

මේ අතර දශක ගණනාවක් තිස්සේ සොබදහමේ අරුමය ලොවට කියා දීම සම්බන්ධයෙන් ග්‍රෙටා දියණිය, ශ්‍රීමත් ඬේවිඞ් ඇටන්බරෝට ස්තුති කිරීමට පවා අමතක නොකළාය.

ඬේවිඞ් ඇටන්බරෝ ඉදිරිපත් කරන නවතම බීබීසී වාර්තාමය වැඩසටහන් මාලාව වන්නේ ‘සෙවන් වර්ල්ඞ්ස් වන් ප්ලැනට්’ ය.

(බී.බී.සී.)


RECOMMEND POSTS