කෝටි හය ලක්ෂ හැත්තෑ දහසක වන්දියක්



ලොව සිවුවැනි ධනවත් පුද්ගලයා ලෙස සැලකෙන ඇමෙරිකන් ජාතික ජෙෆ් බැසෝස්, සිය බිරිඳගෙන් දික්කසාද වන බවත්, නඩත්තුව වශයෙන් ඔහු ඇයට ඇමෙරිකන් ඩොලර් බිලියන 38 ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි හය ලක්ෂ හැත්තෑ දහසක්) ලබා දීමට කැමැත්ත පළ කර ඇති බවත් වාර්තා වේ.

ලෝක ඉතිහාසයේ විශාලතම නඩත්තුව මෙය වන බව ද පැවැසෙයි. 55 හැවිරිදි ජෙෆ් බැසෝස් අන්තර් ජාල භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛයා වන ‘ඇමසන්’ සමාගමේ ප්‍රධානියාය. ඇමෙරිකන් ඩොලර් බිලියන 38 ක නඩත්තුව ලෙස ඔහු බිරිඳ මැකෙන්සි බැසෝස් ට ලබා දීමට එකඟවී ඇත්තේ ‘ඇමසන්’ සමාගමේ කොටස් යැයි ද පැවසෙයි.

49 හැවිරිදි මැකෙන්සි වෘත්තීයමය ලේඛිකාවක් වන අතර එම නඩත්තුව හිමිවීමෙන් පසු ඇය ද ලොව ධනවත් කාන්තාවන්ගේ ලැයිස්තුවේ සිවුවැනි ස්ථානයට පත් වනු ඇත.

මීට පෙර ලොව විශාලතම නඩත්තුව ගෙවීම කරනු ලැබුවේ 1999 වසරේ දී, කලා ගනුදෙනුකරුවකු වන ඇලෙක් වින්ඩර්ස්ටයින් සිය බිරිඳ ජොසිලීන්ගෙන් දික්කසාද වූ අවස්ථාවේදීය.

ජෙෆ් ඔහුගේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළේ 1992 දී සියැටල් නුවර ඔහුගේ නිවසේ වූ කුඩා ගරාජයේ සිටය. ජෙෆ් සහ මැකෙන්සි දෙදෙනා විවාහ වූයේ 1993 දීය. තමා ධනවත් ව්‍යාපාරිකයකු බවට පත් වූයේ තම බිරිඳ මැකෙන්සි නිසා බවත් තමාගේ සාර්ථකත්වය පසුපස සිටින්නේ ඇය බවත් ජෙෆ් පවසා ඇත.

ඩොලර් බිලියන 38 ක නඩත්තුව බිරිඳට ලබා දීමෙන් පසු ජෙෆ් බැසෝස්ගේ වත්කම් ඇමෙරිකන් ඩොලර් බිලියන 118 ක් වනු ඇති බවත්, ඔහුට තවදුරටත් ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ රැඳී සිටීමට හැකිවනු ඇති බවත් ඇමෙරිකන් පුවත් සේවා පෙන්වා දෙයි. ජෙෆ් බැසෝස් සහ බිරිඳ මැකෙන්සි ට දරුවන් සිවු දෙනෙකි.

1980 දශකයේ ජෙෆ් බැසෝස් ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ නේවාසිකව අධ්‍යාපනය හදාරද්දී, ඔහුගේ ‘කාමර සගයා’ වූයේ යසන්ත රාජකරුණානායක නමැති ශ්‍රී ලාංකිකයාය.

ඕනෑම ගණිත ගැටලුවක් පහසුවෙන් විසඳා ගැනීමට තමන්ට කියා දුන්නේ යසන්ත යැයි බැසෝස් ප්‍රසිද්ධියේ පවසා ඇත. බැසෝස් මෙසේ පවසා ඇත්තේ, විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු අවසන් කර දශක තුනක් ගතවීමෙන් පසු, ඇමසන් සමාගමේ ප්‍රධානියා ලෙස තමන් ලැබූ සාර්ථකත්වය ගැන ලොවට හෙළි කරද්දීය.

තමන්ට සාර්ථක ව්‍යාපාරිකයකු වීමට හැකි වූයේ යසන්ත රාජකරුණානායක වැනි මිතුරන්ගේ උදව්වෙන් යැයි බැසෝස් පැවැසීය. බැසෝස් විසින් යසන්ත රාජකරුණානායක හඳුන්වා දෙනු ලැබුවේ, ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ සිටි බුද්ධිමත්ම සිසුවා ලෙසය. යසන්ත රාජකරුණානායක මහතා මේ වනවිට ඇමෙරිකාවේ සිටින කැපී පෙනෙන ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකි.


RECOMMEND POSTS