කොෆී අනාන් සමුගනී



එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පළමු කළු ජාතික මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ කොෆී අනාන් මෙලොවින් සමුගත්තේය.

මියයනවිට කොෆී අනාන් සිටියේ ස්විට්සර්ලන්තයේ බර්න් නුවරය. හදිසියේ රෝගාතුරුව සිටි අන්නාන් මියගිය බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

මියයනවිට ඔහුගේ වයස අවුරුදු 80 කි. පළමු කළු ජාතික අප්‍රිකානුවා ලෙස අන්නාන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ධුරය හෙබවූයේ 1997 වසරේ සිට 2006 තෙක් කාලයේය. කොෆී අනාන් එක්සත් ජාතීන්ගේ 7 වැනි මහ ලේකම්වරයා වෙයි. ඔහු උපන්නේ ඝානා රාජ්‍යයේය.

කළ මානුෂීය මෙහෙවර වෙනුවෙන් කොෆී අනාන් නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබුවේය. ඒ, 2001 වසරේදීය.

කොෆී අනාන් දෙවරක් විවාහ වී ඇත. පළමු බිරිඳ ටීටී අලක්ජීය. ඇය 1983 දී මියගියාය. ඉන්පසු 1984 දී කොෆී අනාන් සුදු ජාතික කාන්තාවක වන නානේ මේරී සමඟ විවාහ විය. මියයන මොහොතේ බිරිඳ නානේ ඔහු අසල සිටියේ යැයි මාධ්‍ය වාර්තා වැඩි දුරටත් කියා සිටී.

පසුකාලීනව සිරියාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු ලෙස අනාන් කටයුතු කළේය. ඒ, සිරියානු අර්බුදයට සාම සැලැස්මක් හඳුන්වා දෙමිනි. කෙසේ නමුත් එය අසාර්ථක විය.

(රොයිටර්)


RECOMMEND POSTS