කිම් ජොන් උන් - ට්‍රම්ප් ඔලිම්පික් ඇවිල්ලා



දකුණු කොරියාවේ යොංග්චැංග් නුවර කේන්ද්‍රකොට ගනිමින් ආරම්භ වුණු සීත ඔලිම්පික් උලෙළට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් ලෙස සැරැසුණු නළුවෝ දෙදෙනෙක් ද සහභාගී වී සිටිති.

එකිනෙකාගේ අත් අල්ලා ගනිමින්, සිනහසෙමින්, කතාබහ කරමින්, වැළඳ ගනිමින් සිටින මොවුහු දෙදෙනා ඔලිම්පික් සමාරම්භක උලෙළ හැඩ කළහ. පැමිණි පිරිස සමඟ සෙල්ෆි ඡායාරූපවලට ද පෙනී සිටියහ.

මොවුන් සමඟියෙන් සහ විනෝදයෙන් මෙසේ සමාරම්භක උලෙළට පැමිණීම දකුණු කොරියානු සීත ඔලිම්පික් කමිටුවේ සංවිධායක මණ්ඩලයේ පවා පැසැසුමට ලක් විය.

මොවුන් දෙදෙනා මෙසේ පැමිණ සිටියේ ඇමෙරිකා ජනපතිට හෝ උතුරු කොරියා නායකයා හෝ අපහාසයට ලක් කිරීමට නොව, මොවුන් දෙදෙනාගේ අරමුණ ඇමෙරිකාවත් උතුරු කොරියාවත් අතර සාමය සහ සමමිය යැයි ඔලිම්පික් සංවිධායකයෝ පවසති.

මේ සම්බන්ධයෙන් උතුරු කොරියාව හෝ ඇමෙරිකාව හෝ කිසිදු විරෝධයක් පළ කර නොමැති බව ද පැවැසෙයි. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් දිගින් දිගටම පවසා ඇත්තේ ‘සුදුසු වාතාවරණයක්’ පවතින්නේ නම් තමන් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවී සාකච්ඡා පැවැත්වීමට සූදානම් බවය.

(එ.එෆ්.පී.)

 


RECOMMEND POSTS